ජනපති හෝ අගමැතිවීමට අපේක්ෂාවක් නොවුණත් මෙරට අනාගතය භාර ගත හැකි නායකයෙකු යටතේ වැඩ කිරීම තමන්ගේ ඉලක්කය වන බව සමඟි තරුණ බලවේගයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

තමන්ගේ අනාගත දේශපාලන අරමුණ කුමක්දැයි පාක්ෂිකයන් නිරන්තරයෙන් විමසන නමුත් ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මහනුවර දී පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් මයන්ත දිසානායක මහතා මේ බව කීවේය.

මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ දිවංගත ගාමිණී දිසානායක මහතා සහ ගම්උදාව වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා වැනි උදාරතර නායකයන්ගේ ආභාෂය ලත් රටට යහපත් සේවයක් සිදුකළ හැකි නායකයකු සමඟ දේශපාලනය කිරීම අපේක්ෂා කරන බව කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනතාවගේ සිතුම් පැතුම් හදුනන, තරණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය හැකි රට වෙනුවෙන් අවධානය යොමුකරන නායකයෙකු රටට අවශ්‍යයි. එම නායකයා සමඟ රටට සැබෑ වෙනසක් ඇති කළ යුතුයි.  එම නායකත්වය අගමැති ජනපති බවට පත් කිරීම මගේ ඉලක්කයක්.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරුණ තරුණියන් ඒකාබද්ධ කරමින් නිල් බලකාය නිර්මාණය කර තාරුණ්‍යයට හෙටක් වැඩසටහන ආරම්භ කළා. යහපත් දේශපාලන කාර්යයක් බවට එය පත්වුවත් කෙටි කාලයක් තුළදී වැරදි ක්‍රියාසිදුකිරීම හා ඒ ඔස්සේ සිය පියාගේ දේශපාලන ගමනට උපකාර කිරීමට යාම තුළින් ඔහුගේ දේශපාලන ගමන නතර වුණා. ඒ සමඟ නිල් බලකාය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

ඒ අයුරින්ම එක්සත් ජාතික පක්ෂයේ යොවුන්  බලකායට පක්ෂ නායකත්වය විවිධ බලපෑම් කිරීම නිසා එම බලකාය බිද වැටුණා. අපිට මේ පිිළිබඳව විවිධ අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් අනුව තමයි අපි තීන්දු තීරණ ලබා ගන්නේ.

රටේ පවතින පද්ධතිය වෙනස් කළ යුතු යැයි කියමින් තරුණ තරුණියන්ගේ ඡන්ද පවා ලබා ගනිමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඔවුන් රවටා දමා තිබෙනවා. තාප්පවල සිතුවම් කළ තරුණයන් අද ඒවා අතහැරියා. බලයට පත්ව මාස නමයක් ගතවී ඇතත් තරුණයන් වෙනුවෙන් කරපු කාර්යයක් නැහැ.

මේ ආණ්ඩුව නොමිලේ පොහොර ගොවියන් වෙත ලබා දෙන බව කීවත් මුදලටවත් පොහොර ලබා ගත නොහැකිවී තිබෙනවා. සොරකම, පාතාලය මෙන්ම දේශපාලනය තුළ පොහොට්ටු පක්ෂයේ හිතවතුන් රජ කරන තත්ත්වයක් දැකිය හැකි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories