ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයකට එක් වීම බරපතල ලෙස විවේචනයට ලක් වී තිබේ.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේදී පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කල මන්ත්‍රීවරයා ලෙසය. මහින්ද රාජපක්ෂ මහතාව කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමේ සටනේ ප්‍රධාන චරිතයක් වූයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාය. ඔහු අතින් පයින් පහරදීමෙන් පමණක් නොව මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීමෙන්ද තම ස්වාමියා වූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ අවස්ථාවේදී සේවය කරන ලදී.

ඔහුට අනපේක්ෂිත ලෙස රාජ්‍ය දූතයකු ලෙස අගමැතිවරයාගේ ඉන්දියානු නිල සංචාරයට එක් වීමට ලැබෙන්නේ එකී සේවයන් හේතු කොට ගෙනය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කිරීමට ඡන්දය ප්‍රකාශ කල 69 ලක්ෂයක් ජනතාවනේ බහුතරයකට ප්‍රසන්න රණවීර වැන්නන් අවුල් වුවද, ලංකාවේ දේශපාලන බලය පවත්වා ගෙන යාමට ප්‍රසන්න රණවීර වැන්නන් අතිශයින්ම වැදගත් බව පරිණත මහින්ද රාජපක්ෂ දනී. එම නිසා ඔහු වැන්නන් මේන්ටේන් කිරීම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සිදු කරයි.

ප්‍රසන්න රණවීරගේ අධ්‍යාපන මට්ටම, සමාජ පසුබිම ලංකාවේ සම්මතය අනුව ඉතාමත් පහළ මට්ටමේ වුවත් ඔහු ලංකාවේ උගත් බුද්ධිමතුන් සිටිනවා යැයි කියන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන එහි මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ මන්ත්‍රීවරයෙකි. එසේ නම් ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවයි.

ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පත්වන්නට හේතුවන පරිදි අති විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙන්නේ ප්‍රසන්න රණවීරගේ පැටිකිරිය ජනතාව නොදන්නවා නිසා නොවේ. ඒ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් හැසිරෙන ආකාරයයි. ශ්‍රී ලංකාවේ මනාප ඡන්ද වැඩි වැඩියෙන් ලබා ගැනීමට යම් ආකාරයක චණ්ඩි පාට් එකකුත් අවශ්‍යය. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළිනුත් ප්‍රසන්න රණවීර වැනි පුද්ගලයන් මන්ත්‍රීවරයන් ලෙස පත් වන්නේ නම් අනෙක් දුර බැහැර දිස්ත්‍රික්ක ගැන කවර කතාද? ශ්‍රී ලංකාවේ පසුගිය මහා මැතිවරණයේ මනාප ලැයිස්තුව පරීක්ෂා කර බැලුවහොත් ඕනෑ තරම් චෝදනාවන්ට ලක් වූ අධිකරණයන්හි නඩු කටයුතු තිබෙන ඇතැම් විට මහාධිකරණයන්හි අධිචෝදනාද ගොනු වී තිබෙන පුද්ගලයන් ඕනෑතරම්  ඉතා ඉහළ මනාප සංඛ්‍යාවක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පත් වී ඇත.

පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනයන්හි ආධිපත්‍යය උසුලන්නේ බොහෝ විට ප්‍රසන්න රණවීර පන්නයේ මන්ත්‍රීවරුන්ය. ඉතා ඉහළ මනාප සංඛ්‍යාවකින් ඔවුන්ද පත් වී ඇත. මේ වෙන කිසිවක් නොව ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තරමයි.

විශේෂයෙන් පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවාසී ජනයා පත් කලේ විනය සුරකින වියත් ජනාධිපතිවරයෙක් වන අතර, ඒ මගින් බලය ලැබුණේ ප්‍රසන්න රණවීර වැනි මහජන නියෝජිතයන්ටය. මෙහිදී හැම විටම ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා හෑල්ලුවට ලක් වුවද එවන් මහජන නියෝජිතයන් ගණනාවක් වියත් රජය තුළ මේ වන විට බලය අභ්‍යාස කරයි. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති පරීක්ෂණයට පැමිණි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ “ඔක්කොම කුණු මගේ පිටින් යවන්න හදන බවයි. ”

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාව පමණක් දංගෙඩියට දැක්කීමට උත්සහ කලද වියත් රජයේ ඉහළම පුද්ගලයන්ගේ හා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අතර ඇත්තේ කෙස් ගහක වෙනසක්ය.

 

More Stories