ඊයේ (02) දින උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහි ප්‍රධානත්වය ගත් අතර අමාත්‍ය රමේෂ් පතිරන හා රජයේ නිලධාරීන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයේදීම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉතාමත් වැදගත් කරුණු දෙකක් හෙළිදරව් කළේය.

අපි හම්බ කලොත් අපි කනවා තියරිය

මුලින්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කලේ මෙරට ඇතැම් ජනයා අපේ ප්‍රශ්න අපට විසඳා ගත හැකි බවත්, අප ඉපයූවොත් අපට ජීවත් විය හැකි බවත් කවුරු ආණ්ඩු කලත් අපට වැඩක් නැතය යන මතයක ජීවත් වූ බවත්, අද වන විට එසේ තමන් ඉපයීමෙන් පමණක් ජීවත් විය නොහැකි බවත් අවශ්‍ය තීරණ ගත හැකි යහපත් ආණ්ඩු තිබිය යුතු බවත් හොඳින්ම වැටහී ඇති බවත්ය.

මේ කතාව සම්පූර්ණයෙන් ඇත්තය. මෙරට පසුගිය දශකයක හෝ දෙකක කාලය තුළ නැගී ආ මධ්‍යම පන්තියේ බොහෝ දෙනා සිතන්නේ අපි හම්බ කලොත් අපි කනවා තියරියෙනි. බන්දුල කියන්නේ එයයි. බන්දුල ඔව් ඔබ හරි. නමුත් කණගාටුව නම් ඔබ ජයග්‍රහණය කල දේශපාලනය ආමන්ත්‍රණය කලේ ඔබ ඔය කියන තියරියෙන් යුත් මැද පන්තියටය. ඔබේ දේශපාලන මතවාදය මධ්‍යම පන්තිය වෙළාගෙන සිටින ඔබ ඔය කියන්නා වූ අදේශපාලනික මතයෙන් වෙනස් කිරීමට කිසිවක් සිදු නොකරන ලදී. ඔබගේ කණ්ඩායම සිදු කලේ ආණ්ඩුව මොකක් වුනත් ප්‍රශ්නයක් නැතැයි සිතූ ඒ කණ්ඩායමට ප්‍රශ්නයක් ලෙස ජාතියේ අනතුර ඉදිරිපත් කිරීමයි. ඒ වෙනුවෙන් අන් ජාතිකයන්එ එරෙහිව ඇති පදම් ජාතිවාදී වෛරය ඔවුන්ට කාන්දු කිරීමට ඔබගේ කණ්ඩායම හා ඒ පිටුපස සිටි මහා මාධ්‍ය බල ඇණිය විසින් කටයුතු කරන ලදී.

ඔබද කලක් නියෝජනය කල වමේ ව්‍යාපාරය විසින් දිගින් දිගටම සිදු කලේ සමාජයේ සියලු පන්තීන් දේශපාලනික වශයෙන් සවිඥානක කිරීමය. ඔබටද අද එහි වටිනාකම දැනෙන බැවින් අද ඔබ ඔය වටිනා ප්‍රකාශය සිදු කල බව අපට විශ්වාසය. පසුගිය ජනාධීපතිවරණයට පිටු බලය සැපයූ ඔබ ඔය කියන අපි හම්බ කලොත් අපි කනවා තියරියේ මැද පන්තියට අවශ්‍ය වූයේ දේශපාලනික වීමට නොව අනෙක් අයත් අනවශ්‍ය පරිදි දේශපාලනික වීම වළක්වා ගැනීමය. ඔවුනට වැඩ වර්ජන අකැපය. පාරේ උද්ඝෝෂණ අකැපය. ඔවුන්ට මෙම උද්ඝෝෂණ වලට බලපාන හේතු වලට වඩා අවශ්‍ය වූයේ එම උද්ඝෝෂණ කුල්ලෙන් හෝ මල්ලෙන් නවතා දැමීමය. ජනාධීපතිධූරයට විරුවෙක් අවශ්‍ය වූයේ එබැවිනි. ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති වියත් මග සමුළුවේ දේශනයක් කරමින් වත්මන් ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කලේ මාර්ග අවහිරවන උද්ඝෝෂණ වලින් තොරව මැද පන්තියේ ජනයාට මාර්ගය භාවිතා කල හැකි වාතාවරණය සැකසිය යුතු බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණ ස්ථානය වෙන් වන්නේ ඒ මැද පන්තික මතවාදය වෙනුවෙනි. අපි හම්බ කලොත් අපි කනවා තියරිය වෙනුවෙනි.

ඉතින් බන්දුල දැන් ඇත්තේ ඔබේ වාරයයි. ඊනියා වියතුන් වෙනුවට දේශපාලනය කරන්නන්ගේ වාරයයි. එසේ නම් වෙනස්කරන්න මැද පන්තියේ ඒ අදේශපාලනික ආත්මාර්ථකාමී මතය. ඒ වෙනුවෙන් ඔබලාගේ මහා මාධ්‍ය ජාලය පාවිච්චි කරන්න.

ජාතිකවාදයෙන් කළ හැකි දෙයක් නැති බව හා ගෝලීය එකමුතුවක අවශ්‍යතාවය

බන්දුල දෙවනුව කීවේ ඉහත ප්‍රකාශයටත් වඩා වැදගත් දෙයකි. ජනාධිපතිවරයා මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාගෙන් ලෝක මූල්‍ය ආයතන හා රජ්‍යයන්ගෙන් දියුණු වෙමින් පවතින රටවල ණය අයකිරීම් කල් දැමීමට හෝ ණය ප්‍රතිසැකසුම් කරන ලෙස ඔවුන්ට බල කිරීමට මැදිහත් වන ලෙසයි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ගෝලීය ආර්ථික ව්‍යසනයෙන් ලෝකය ගලවා ගැනීමට වර්ෂ 1944දී ලෝකයේ රාජ්‍යයන් එක් වුනු බ්‍රෙටන්වුඩ් සමුළුව වැනි ලෝක සමුළුවක් පවත්වන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින ලෙස කැබිනට් මණ්ඩලය ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු ඉතා වැදගත් කරුණක් ලෙස පෙන්වා සිටියේ මෙය එක් රටකට පමණක් විසඳා ගැනීමට නොහැකි ගැටලුවක් බවත් ඒ සඳහා ලෝකය එක් වීමේ අවශ්‍යතාවය වැදගත් බවත්ය.

බන්දුල ඇමතිවරයාගේ මේ කතාවත් සම්පූර්ණයෙන් ඇත්තය. බන්දුල මේ කියන්නේ මේ ගැටලුවට අපට තනිව කිසිවක් කල නොහැකි බවකි. අවශ්‍ය වන්නේ ගෝලීය යාන්ත්‍රණයක් බවයි බන්දුල මේ පිළිගන්නේ. බන්දුල මේ කතාව කියන්නේ රජයට ඉතාම හිතවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමාත්, තවත් රජයට හිතවත් බොහෝ පිරිසුත් මාධ්‍ය ඉදිරියේ අපි මාරයි බටහිර ලෝකය අමු චාටර් තියරියෙන් මාධ්‍ය ඉදිරියේ පාරම්බාන අවස්ථාවක වීමත් විශේෂය. බන්දුල මේ කියන්නේ අපි මාර නැති බවත් අපට වඩා මාර පොරවල් මේ ලෝකයේ සිටින බවයි. බන්දුලටත් ආණ්ඩුවටත් ගෝලීය වශයෙන් එකමුතුවකුත් සහනත් අවශ්‍ය වන්නේ එබැවිනි.

බන්දුල ඔබ අද ඔය ඇත්ත කීවද ඔබ ජවග්‍රහණය කල දේශපාලන මතවාදය හැමවිටම ලාංකේය ජනයා ඇදගෙන ගියේ ලෝකයෙන් හුදකලා කරවන තැනකටය. ජාත්‍යන්තර ඇගයුම් තඹ දොයිතුවකට නොවටින බවත් අපිට අපේ මාර ක්‍රම තියෙන බවයි ඔබගේ දේශපාලන මතවාදය ප්‍රසිද්ධ කලේ. වියත් මගේ ගෙවිඳු කුමාරතුංග වැන්නවුන්ගේ ජාති ආලය වඩවන කතා දෙස නැවත අවධානය යොමු කරන විට වමේ ව්‍යාපාරයක සිට දේශපාලනය ඇරඹූ බන්දුල ඔබට ඒවා මොන පුහු කතාදැයි දැනෙනු ඇත. බටහිර ඇවිදින් අපව ගිලගත් බවත් පවසමින් ජාත්‍යන්තර අරමුදල්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයද ජාතයන්තර රාජ්‍යයන්ටද එරෙහිව ජාතිකවාදී මතවාදයක් කරපින්නාගෙන ගොස් ඒවා මිනිසුන් පිටට පැටවූ ඔබේ දේශපාලන කඳවුරට බටහිර වෙදකමින් සිදු කරන ප්‍රතිකර්ම හැර වෙන කිසි විසඳුමක් නැත.

ඉදිරි ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නැත. ජාතිකවාදී කුරුමුබැට්ටියක තරම් වූ චින්තනයෙන් ඔබ්බට ගොස් ලෝක ආර්ථික සමුළුවක් ඉල්ලා සිටින ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි ඔබ කියන්නේ එබැවිනි. බ්‍රෙටන්වුඩ් සමුළුවෙන් බිහිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ඔබට මතක් වන්නේ එබැවිනි.

ඉතින් බන්දුල දැන් එළඹ ඇත්තේ ඔබේ වාරයයි. ඔබලාගේ දේශපාලන කඳවුරත් ඒ පිටුපස සිටි මහා මාධ්‍ය ජාලයත් එක්ව ජාතිකවාදයෙන් කුරුවල් කල හා දැනුත් කුරුවල් කරමින් සිටින ලංකාවේ ජනයාගේ ඔළු ගෝලීය දර්ශනයකින් සේදීමේ වාරය එළඹ ඇත. ඔබට මේ වන විටත් හොඳින්ම වැටහී ඇති පරිදි මෙම ගෝලීය ප්‍රශ්න ලංකාවටත් බලපාන බවත් ඒ ප්‍රශ්න වලට ඇත්තේ ගෝලීය විසඳුම් බවත් ඔබ විසින් මොළ සවුත්තු කර කිසිදු පදනමක් නැති ජාතිකවාදයක් පිරවී ඇති මොළ වලට කියා දීමට ඔබ පියවර ගන්න.

ඉදිරයේදී අපට මුහුණ පෑමට සිදු වන්නේ ගෝලීය ප්‍රශ්න වලටය. ඒවාට මුහුණ දීමට අවශ්‍ය වන්නේ ගෝලීය චින්තනයකින් හෙබි නායකයන් හා ජනතාවක්ය. ඔබලා මෙහි පෝෂණය කල ජාතිකවාදයට ඒවාට කිසිදු විසඳුමක් නැත. අපි හම්බ නලොක් අපි කන තියරියෙන් සිටියොත් සුපිරී කෑමක් කන්නට හම්බ වෙනු ඇත. කොරෝනාවෙන් මතුකල ගෝලීය යථාර්ථය අපට පසක් කරන්නේ ප්‍රගතිශීලී ගෝලීයවාදයක් මිස අන් කවරක්ද?

-දුලාන් දසනායක-

More Stories