ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ වේදිකාව  උණුසුම් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා එකම උත්සවයක දී ප්‍රථම වරට ඉකුත් දා හමුවිය.

දේශපාලන එදිරිවාදිකම් ඉවත දමා එකිනෙකා උණුසුම් ලෙස පිළිගනිමින් හමු වූ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙශ්ඨ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 25ක් වැයකොට පොලොන්නරුව පැරකුම් උයන ප්‍රදේශයේ ඉදි කළ වැඩිහිටි නිවාසය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව වෙනුවෙනි.ඩඩ්ලි සිරිසේන මහතාගේ බිරිද වන ඇන්ජලා සිරිසේන මහත්මියගේ 60 වන උපන්දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම වැඩි හිටි නිවාසය පසුගිය මාස කිහිපයේ දීම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වැලිකන්ද කොරෝනා මර්දන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කළ වෛදවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා භාර දී තිබුණු අතර වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ඉතාම පහල අගයක් ගැනීම නිසාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා තව දුරටත් මෙම ස්ථානය අවශ්‍ය නොවන බව දැන්වීම නිසාත් මෙම වැඩිහිටි නිවාසය පොලොන්නරුවේ අසරණ වන වැඩිහිටියන් වෙනුවෙන් ජනසතු කිර්ටීමට මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර එහි දී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙවර මහා මැතිවරණයට තරග වැදී ජයග්‍රහණය් හිමි කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුම සහභාගී වීම විශේෂිතය.දේශපාලන විරසකකම් ඉවත දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රොෂාන් රණසිංහ මහතා ඉතාම කුලුපග දේශපාලන සගයින් සේ මෙම අවස්ථාවේ කටයුතු කිරීම දේශපාලන ලෝකයේ දැඩි කතා බහට ද හේතු විය.

මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමි වූ අසුන වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය කින්ස් නෙල්සන් මහතා ද මෙම උළෙලට සහභාගී විය.එහි දී හිටපු ජනාධිපතිවරයා ත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාත් ‍රැස්ව සිටි පිරිස අමතා කථා කළ හ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව සභාව අමතමින් මෙසේ කීය.

“වැඩිහිටියන් පාරේ අතර මග දමා යෑම් පිළිබදව අපි ඕන තරම් අහලා තියෙනවා.ඒ වගේම වැඩිහිටි නිවාසවල ‍රැදී සිටින වැඩිහිටියන් ට දානය ලබා දීම් පරිත්‍යාග කිරීම් කරන අවස්ථාවල දී අපිට පෙනෙන දෙයක් තමයි ඒ වැඩිහිටි නිවාසවල සිටින්නේ මේ රටේ දුප්පත් අසරණම පවුල්වල අය නොවන බව.ඇතැම් විට ඉහල ධනපතියන්ගේ පවුල්වල අය.ඔවුන්ගේ දරුව ඉහළට ඉගෙන ගත් අයගේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ හොදට ඉඩකඩම් තියෙන වතුපිටි තියෙන අය.

අද අධිකරණයේ නඩු හබ දිහා බැලුවාමත් ඇතැම් නඩු හබ බැලුවාම තමන්ගේ මව පියා ජීවත් වුණ ඉඩම කඩම අයිති කරගන්න දරුවෝ නඩු කියන.ඒ අය එලියට ඇදලා දාන ගෙදරින් එලවලා දාන තත්ත්වයක් තියෙනව.ඒක මේ සමාජයේ ඉතාම පිරිහිච්ච තත්ත්වයක්.මේක අද ඊයේ ඇති වූ තත්ත්වයක් නෙමෙයි.ඒ නිසා මගේ සහෝදරයා අති විශාල මුදලක් වැය කරලා ඉදි කළ මේ නිවාසය ඒ වගෙම නඩත්තු කරන එක තමයි විශාල ම කටයුත්ත.

එතකොට මම ඇහිවා මේක රජයේ ආයතනයකට පවරනවද කියලා.එතකොට නෑ අරලිල්ය සමූහ ව්‍යාපාරය විසින් තමයි පවත්වාගෙන යන්නේ කියලා.නමුත් ඉතාම අමාරු කරුණක් තමයි මේ වැඩිහිටියන් ‍රැකබලා ගැනීම.ඒ නිසා රෝහල් අධ්‍යක්ෂතුමා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමාගේ සහය ලබා ගන්න ඕන.නිරන්තරයෙන් මේ වැඩිහිටියන් ‍රැක බලා ගන්න ඕන.ඒ වගේම මෙහි කාර්ය මණ්ඩලය වැඩිහිටියන් ගැන ඉතාම කාරුණික වෙන්න ඕන.ඔවුන්ව ‍රැක බලාගන්න ඕන.

කෑ ගහනකොට අඩනකොට දොඩනකොට ලගට ගිහිල්ලා ඒ අයගේ දුක අහන පිරිසක් වෙන්න ඕන.ඒක අහන්න තරම් කාරුණික පිරිසක් වෙන්න ඕන වැඩකරන කාර්ය මණ්ඩලය.එහෙම නැතුව රජයේ ආයතනයක පෞද්ගලික ආයතනයක,සමාගමක වැඩකරන විදිහේ පිරිසකට වැඩිය බොහොම වෙනස් මේවගේ ආයතනයක වැඩ කරන කාර්ය මණ්ඩලය.ඒක ඉතාමත්ම වැඩගත් වෙනවා.ඒ කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂතුමාගෙන් උපදෙස් අරගෙන ඒ කාර්ය මණ්ඩලවලට යම් කිසි පුහුණුවක් දීලා කරනවා නම් තමයි මං හිතන්නේ හොද.

ඒ වගේම මගේ සහෝදරයා ඩඩ්ලි සිරිසේන ට මේ වගේ උතුම් පුන්‍යවන්ත කටයුත්තක් සිදු කිරීමට ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ වැඩිහිටි නිවාසය ඉදි කිරීම ගැන මම සතු‍ටු වෙනවා.සුභ පතනවා.ඒ වගේම එතුමාගේ බිරිද මගේ ඥාති සහෝදරියට හා පවුලේ සියලු දුනාට ආශිර්වාද කරනවා සුභ පතනවා.විශේෂයෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පොලොන්නරුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ සියලුම මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමත්.සිරිපාල ගම්ලත් මැතිතුමා රාජකාරිමය කටයුතකට ගිහින් තියෙන නිසා රංජනි ගම්ලත් මැතිණිය පැමිණ සිටිනවා.ඒක මට ඉතාම සන්තෝෂයක්.”

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

අද දිනයේ පොලොන්නරුවේ දෙමව්පියන් ‍රැකබලා ගන්න මේ නිවාසය හදලා පරිත්‍යාග කිරීම ගැන ඩඩ්ලි අයියාටත් බියුටි අක්කාටත් ස්තුතිවන්ත වෙනවා.මේ අවස්ථාවට මට ආරාධනා කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා.

මම එදා ඩඩ්ලි අයියාට කිව්වෙත් මට පුළුවන් හැම වෙලාවෙම සහය දෙන්න කැමතියි කියලා.දිමිත්‍ර මල්ලිගේ විවාහය වෙලාවෙත් අපි දේශපාලන වශයෙන් බෙදිලා හිටියත් මම එදා ආවා.ඒ වගේමයි ඔබතුමාගේ නුවර එළියේ හෝටලය විවෘත කරන වේලාවෙත් ආරාධනාවක් කළා නම් මම කවදාවත් නෑවිත් ඉදලා නෑ.අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලයේ අපි සියලු දේවල් අමතක කරලා සමගියෙන් ඉන්න ඕන කියන එක මම අවබෝධ කරගෙන තියෙන්නේ.

අද අපි එක ගමනක් රට වෙනුවෙන් යන්න සූදානම් වෙලා තියෙන මොහොතක අපේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම මුණ ගැහිලා අපි එතුමාට ගරු කරණවා ජේ්‍යශ්ඨයෙක් විදිහට එතුමාට මම ගිහිල්ලා සුබ පැතුවා.

අපි මෙතනින් එහේඅට පොලොන්නරුව දිස්ත්‍රික් දේශපාලන ගමන තුළත් එතුමත් මමත් සිරිපාල ගමලත් මැතිතුමත් අතුකෝරල මැතිතුමාත් පමණක් නෙමෙයි කින්ස් නෙල්සන් සහෝදරයාත් අපිත් එක්ක එකට වැඩ කරන්න පුලුවන් තවත් මන්ත්‍රීවරයෙක්.

අපි එකතු වෙලා පොලොන්නරුව හදන වැඩපිළිවෙලට මේ වැඩිහිටි නිවාසය ලොකු ශක්තියක් වෙනවා.අපි සියලු දෙනාම එකතු කළ තැනක් නිසා.මේක පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඔබතුමා දුන්න තවත් දායාදයක් විදිහට තමයි ඩඩ්ලි සිරිසේන මැතිතුමනි අපි මෙය සලකන්නේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් අපේ රජයේත් සුභ පැතුම් ඔබ තුමාටත් මැතිණියටත් එකතු කරනවා.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories