පසුගියදා ඉන්දියාවේ සිට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන WION ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිරත විය. එහිදී හිටපු අගමැතිවරයා ලංකාවේ කොරෝනා මර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග හා කොරෝනා නිසා ලෝකය තුළ ඇති වී ඇති තත්වයත්, ඉදිරියේදී මතු වීමට නියමිත ආර්ථික ප්‍රශ්න ගැනත් අදහස් දක්වන ලදී. ඒ එකී සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදිනියගේ ප්‍රශ්න මත පදනම් වෙමිනි.

 

ලංකාවේ මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ගැන අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ ලංකාවේ ලොක් ඩවුන් ක්‍රියාමාර්ගය සාර්ථක බවයි. ආණ්ඩුව ඒ සඳහා ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ,

“සෞඛ්‍ය සේවය අතිවිශිෂ්ට සේවයක් සිදු කරනවා. හමුදාව හා පොලීසියත් ඒ වගේම පෞද්ගලික අංශයත් මහජනයාගේ සහයෝගයෙන් විශිෂ්ට සේවයක් සිදු කරනවා. මෙම අංශය සාර්ථකයි. නමුත් ආණ්ඩුව අදාළ පරීක්ෂන උපකරණ , මුහුණු ආවරණ, වෙන්ටිලේටර් උපකරණ ගෙන ඒම ප්‍රමාද වුනා. ඒවා ජනවාරි මාසයේදී ගෙන ඒමට හැකියාව තිබුණා. එ් අවස්ථාවේදී ආණ්ඩුව දුර්වල වූ අතර යම් හිඩැසක් ඇති වුනා.” යනුවෙනි.

මේ ලොක්ඩවුන් තත්වය කොටස් වශයෙන් ලිහිල් කිරීමට අවශ්‍ය බවත් එහිදී දිගින් දිගටම පරීක්ෂන කිරීම අනිවාර්ය වන අතර ලොක් ඩවුන් තත්වය ලිහිල් කල යුත්තේ එසේ පරීක්ෂණ සිදු කරමින් ජර්මනිය හා දකුණු කොරියාව මෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  විශේෂයෙන්ම ලොක් ඩවුන් තත්වය කොටස් වශයෙන් ලිහිල් කරමින් ආර්ථිකය නැවත සක්‍රීය කර ගැනීමට අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දෙන ලදී.

 

“දැනට ලෝකය මුහුණ දෙන වඩාත්ම අභීයෝගාත්මක අවස්ථාව මෙයයි. දෙවන ලෝක යුද්ධය හෝ වෙනත් ඕනෑම යුද්ධයකදී සතුරා කවුදැයි අප දන්නවා. මෙහිදී කවුද වගකිවයුත්තා යන්න අප දන්නේ නෑ. මගේ මතකය හරිනම් මම ඩුබායි වලදී පැවසුවා ගෝලීයකරණයේ වර්ධනය අප දුටුවා ඉදිරියේදී එහි පසුබැසීම අපට දැකිය හැකියි කියලා. නමුත් අප සිකුවේ නෑ මේ තරම් වේගයෙන් එය පැමිණේවි කියා. මෙය සියලු ආර්ථිකයන් නොසළකා හරිනවා. ආර්ථිකය කඩා වැටෙනවා යනු සියල්ල කඩා වැටෙනවා යන්නයි. අපි ඒක දැක්ක සෝවියට් රුසියාවට වුනු හැටි. ගෝලීය වශයෙන් අප සියලු දෙනා සිටින්නේ ඉතාමත් අසීරු තත්වයක. නමුත් අප මුහුණ දෙන අනෙක් ප්‍රශ්නය නම් මේ සඳහා ගෝලීය නායකත්වයක් ඉදිරියට නොඒමයි.” යනුවෙන් ඒ මහතා ගෝලීය තත්වය විග්‍රහ කමින් ප්‍රකාශ කරන ලදී.

ගෝලීය නායකත්වයක් මේ අවස්ථාවේදී ඉදිරියට නොපැමිණීම ගැන අදහස් දක්වමින් ඒ මහතා මෙසේද අදහස් දක්වන ලදී.

“ගෝලීය නායකත්වයක් යනු පුද්ගලයන්ම පමණක් නොවේ ආයතනත් ඊට ඇතුළත්. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනත් ඇතුලත්. කාලගුණ වෙනස්වීම් ගැන අප කාතාකරනකොට අප දැක්කා ප්‍රංශයේ හිටපු ජනාධිපති හොලන්ඩේ, ඔබාමා සහ තවත් අය නායකත්වය ගත්තා. දෙවන ලෝක යුද්ධය ගැන කතාකරනකොට අප දැක්කා රූස්වෙල්ට්, චර්චිල් ස්ටාලින් හා චියැන් කායි ෂෙක් සමගින් නායකත්වය ගත්තා. නමුත් මෙහිදී කවුද ඉදිරියට ඇවිත් නායකත්වය ගන්නේ. දැන් පසුගිය ආර්ථික අර්බුදය සමයේ ගෝඩන් බ්‍රවුන්, ජෝජ් බුෂ් හා තවත් අය නායකත්වය ගත්තා එය සමනය කිරීමට. මෙහිදී කිසිවකුත් ඉදිරියට පැමිණ නායකත්වය ගන්නේ නැ. ඇතැම් අය මතභේද ඇතිකරගන්නවා.”

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ, “මෙය ගෝලීය අර්බුදයක් මිසක් ජාතික අර්බුදයක් නොවේ. ගෝලීයකරණයේ පසු බැස්ම මෙයින් සිදු වනවා. එහිදී අවශ්‍යයි ලෝක නායකයන් ඉදිරියට පැමිණ නායකත්වය ගැනීම. නමුත් කිසිදු නායකත්වයක් නෑ. ප්‍රකාශන නිකුත් කරනවා පමණයි. අප බලා සිටිනවා.”  යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී ඇතිවන ණය හා ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “අපට ණය සහනයක් පිළීබඳව චීනයෙන් අසන්නට පුළුවන්. නමුත් චීනය පමණක් නොව අන් සියලු රටවල් මේ සම්බන්ධයෙන් ගත යුත්තේ ප්‍රතිපත්තිමය තීරණයක්. එක් අයකුට දුන්නොත් අනෙක් රටවලටත් දිය යුතු වෙන නිසා.

අපගේ ණය ප්‍රමාණයන්ගෙන් 50%ක් පමණ තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ගබා ගත් ණයයි. චීනය, ඉන්දියාව ඇතුළු රටවල් වලින් ලබා ගෙන ඇත්තේ 15%ක සිට 20%ක පමණ ප්‍රමාණයක්.  එකී බැඳුම්කර සඳහා අප විසින් ඩොලර් බිලියන ගණනින් මුදල් ඉදිරි මාස කිහිපයක් තුළ අපට ගෙවිය යුතු වනවා. අපේ සංචිතයන් එන්න එන්නම අඩු වෙනවා.

නව ආදායමක් ලැබෙන්නේ නෑ. පෙර අප 2016 හා 2017 වසර වලදී සංචිතය යම් තුලනයකට ලක් කළා. අප මේවා ගෙවද්දී අපේ සංචිතය සීඝ්‍රයෙන් අඩු වී යනු ඇති. ණය ලබා දෙන රටවල් ණය ගත් රටවල් පිළිබඳ සලකා බලා යම් සහනයක් දීම වැදගත්.

චීනය හා ජපානය ඒ ආකාරයට සහනයක් දෙන විට එය එම රටවල ආර්ථිකයට බලපානවා. ඒ වගේ ගෝලීය තත්වයක් දැන් නිර්මාණය වෙලා තිබෙන්නේ.”

More Stories