ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ කොවිඩ් අර්බුදයට පෙර සිට පැවතගෙන ආපු මේ රටේ ණය පිළිබඳ අර්බුදය. ඒක දෙයාකාරයි. එකක් රාජ්‍ය ආදායම් කිසිසේත් ප්‍රමාණවත් නොවීම, රජයේ වියදම් සකස් කර ගැනීමට.
දෙක, විදේශ මූල්‍යවලින් ලබාගන්නා ලබා ණය ගෙවීමට තිබෙන්නා වූ දරුණු අපහසුතාවය, දරුණු අර්බුදය. මෙවර මගේ තක්සේරුව අනුව රජයේ අදායම මේ වර්ෂයේ රු. බිලියන 1,100 යි. නමුත් ආණ්ඩුවට සිද්ධ වෙනවා මෙවර මේ අපි ලබා ගෙන තියෙන ණයේ පොළිය පමණක් ට්‍රිලියනයකට ආසන්නයි.
එතකොට අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ ආදායම සම්පූර්ණයෙන්ම රජය ලබා ගෙන තිබෙන ණයවල පොළිය ගෙවීමට පමණක් ප්‍රමාණවත් වෙන තත්ත්වයකට ඇද වැටිලා තිබෙනවා.
අපේ රජය යටතේ රු. බිලියන 2,000කට ආසන්නයේ තිබුණු රාජ්‍ය ආදායම රු. බිලියන 1,000 ක් එනම් අඩකින් අඩු කරගෙන තියෙනවා, මේ රජයේ ඔය සඳහන් කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය නිසා 2019 දෙසැම්බර් 01 වෙනිදා සිට සිදුකරන ලද අමනෝඥ බදු ප්‍රතිපත්තිය නිසා රට රාජ්‍ය මූල්‍ය අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. රාජ්‍ය මූල්‍ය අර්බුදය කොවිඩ් නිසා ඇතිවුණු දෙයක් නෙමෙයි. රජයේ බදු ප්‍රතිපත්තිය නිසා ඇති වුණු දෙයක්.
ඒ වගේම මේ කොවිඩ් අර්බුදය එන්න පෙර පළමු මාස 03 දී ආර්ථිකයේ වර්ධනය සෘණ 1.6යි. ඒක තමයි රටේ රජයේ ප්‍රගති වාර්තාව. ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථනයන් අනුව මේ වසරේ සෘණ දශම 6යි ආර්ථිකයේ සංකෝචනය. තවත් නොයක් ආකාරයේ පුරෝකථනයන් තිබනෙවා.
කෙසේ වෙතත් අපි මතක තබා ගත යුතුයි, මේ සියලු ආර්ථික අර්බුදයන් කොවිඩ් එකට මුවා වෙලා යට කරන්න බැහැ. කොවිඩ් එන්න පෙරම පළවෙනි මාස 03 දී රටේ ආර්ථිකය සෘණ 1.6ක් බවට පරිවර්තනය වී තිබු බව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.“
“වත්මන් තත්ත්වය කුමක්ද? වත්මන් තත්ත්වය තමයි අද රාජ්‍ය මූල්‍ය, රජයේ බදු ප්‍රතිපත්තිය විසින් දෙගුණ තෙගුණ කරලා තියෙනවා. ඒ වගේම රටේ සංචිත, අපේ ආණ්ඩුව විසින් අපේ හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලර් බිලියන 7.2ක සංචිත අද යොදා ගන්නේ කුමකටද? අද යොදා ගන්නේ විදේශ ණය ගෙවන්න.
කොහොමද මේ මුදල පාවිච්චි කරලා තියෙන්නේ, දේශීය ව්‍යවසායකයා රකින්න ද? නැහැ, රුපියල පාලනය කිරීම සඳහා මේ වසරේ අප්‍රේල් 16 වෙනිදා සිට ආනයන තහනමක්, ආරක්ෂණවාදී තහනමක් දියත් කරලා තියෙනවා. දියත් කරලා ඒක නිලධාරීන් කිහිපදෙනෙක් අතට අරගෙන තිබෙනවා, විදේශ මුදල් වියදම් කිරීමේ බලය. මේ තුළින් මොකද වෙන්නේ? මේ තුළින් ආර්ථිකයට ඔය කියන දේශීය ව්‍යවසායකයා ශක්තිමත් වෙනවා නම් දේශීය වෙළෙඳපොළ ශක්තිමත් වෙනවා නම් අපි ඉතාම සතුටුයි.
නමුත් කිසිම ආකාරයක විද්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව සහමුලින්ම ආනයන නතර කිරීම විසින් රටේ ආර්ථිකයට, විශේෂයෙන්ම ප්‍රාග්ධන භාණ්ඩ සඳහා තිබෙන රටේ ආර්ථිකයට ඇති කරලා තියෙන බලපෑම ඉතාම ප්‍රබලයි. දෙසැම්බර් 31 වෙනකොට රටේ ආර්ථික වර්ධනයේ සෘණ අගයෙන් හොයා ගන්න පුළුවන් මේ අමනෝඥ ක්‍රියාවේ තරම.
ඒ අනුව අනිවාර්යයෙන්ම ඊළඟ වසරේ දී මේ නාටකය මේ ලෙසම කරගෙන යන්න බැහැ. මොකද, මේ ආනයන සීමා කරලා, ආනයන ගොඩනැගීම සඳහා අපේ රජය විසින් ගොඩනගපු සංචිත පාවිච්චි කරලා, ණය ගෙවලා, එයට වන්දි ගෙවීම සඳහා ආනයන සීමා කරලා, අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම නතර කරලා, ඒ වගේම අනෙකුත් ප්‍රාග්ධන භාණ්ඩ ගෙන්වීම නතර කරලා, ආහාර ද්‍රව්‍ය ගෙන්වීම නතර කරලා, මේ ක්‍රියාව කරන්න බැහැ, මේ දේශීය කර්මාන්ත ගොඩැනැංවීම කරන්න බැහැ. ඒ සඳහා කවර නිශ්චිත දේශීය කර්මාන්ත කරන්නද අපට හැකියාව තියෙන්නේ, කවර ක්ෂේත්‍රවලද ඒක කරන්නේ කියන එක පූර්ව විද්‍යානුකූල නිගමනයකින් තොරව මේ ආකාරයේ ප්‍රතිපත්තිවලින් සිද්ධ වෙන්නේ ආර්ථික අගාදය තවත් අර්බුදයකට ලක්වීම පමණයි.“
“අනාගතයේ දී රජය හිතන් ඉන්වා නම් විදේශීය මූල්‍ය වෙළෙඳපොළවලින් 2010-2014 කාලයේ දී සිදුකළා වගේ මුදල් රැස්කරගන්න පුළුවන් කියලා, ස්වෛරී බැඳුම්කර ගන්න පුළුවන් කියලා, ඒක හීනයක් පමණයි.
මොකද ජාත්‍යන්තර ශ්‍රේණිගතවීම්වලින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයේ ඉමට ගෙනල්ලා තිබෙනවා. B- තත්ත්වයට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කරලා තියෙනවා. එම තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් අපට මුදල් රැස්කර ගැනීමට අතිශය අපහසු තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව මූල්‍ය වශයෙන් බංකොලොත්භාවයේ මුවවිටට කරවිටට පැමිණ තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයෙන් ගැලවෙන්නට රජයට මොනවාද කරන්න පුළුවන්. රජයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කරන්න. වැටුප් කප්පාදු කරන්න. විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න. ඒ විතරක් නෙමෙයි අනාගතයේ දී අනිවාර්යයෙන්ම, ඔය සංවර්ධනයේ සෞභාග්‍යයේ දැක්ම සිදුකරන්න අපහසු වෙනවා.
මොකද ප්‍රාග්ධන වියදම්වලට අවශ්‍ය ඒ රාජ්‍ය මූල්‍ය ශක්තිය රජයට නැති නිසා. එපමණක් නෙමෙයි රජයේ දේපළ විකිණීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ දේශීය සම්පත් ඉදිරි කාලයේ දී කරන්න සිද්ධ වෙනවාමයි. මේ රජ්‍ය මූල්‍ය පිරිවැය සකස් කර ගැනීමට. ඒ සඳහා අවශ්‍ය පිඹුරුපත් දැන් සකස් කරලා ඇති කියලා, මා විශ්වාස කරනවා.“