මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මගින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පැවැති ආණ්ඩු පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයත් බරපතල පසුබෑමකට ලක් වුනු බව නොරහසක්. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බරපතල ලෙස මෙම පරාජයෙන් ඉච්ඡා භංගත්වයකට පත් වී තිබේ. එයට හේතුව අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා වීමයි. සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ කාඩරයේ වීරයායි. සජිත් ප්‍රේමදාස සිය පක්ෂයේ නායකත්වය සඳහා කැරළි ගැසීම ආරම්භ කළේ වර්ෂ 2005 සිටයි. එතැන් සිට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිත් තුළට කා වැදී ඇති දෙය නම් ඔවුන්ගේ මැතිවරණ පරාජයන්ට සම්පූර්ණ හේතුව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වන බවත් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ගතහොත් ජයග්‍රහණය ඉතාම ලෙහෙසි පහසු දෙයක් බවයි. දැන් සිදු වී ඇත්තේ ඔවුන්ගේ එම බලාපොරොත්තු කුඩු පට්ටම් වීමයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඔවුන්ට දරාගත නොහැකි වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතාත් ඔහු වටා සිටි පිරිසත් මහරාජා මාධ්‍ය ජාලයත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට අහස උසට සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ බලාපොරොත්තු ලබා දී තිබුණි. අවසානයේ ඒවා සුනු විසුනු වී ගියේ රනිල්ටත් වඩා සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය දරුණු වීමෙනි. අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට කරකියා ගන්නට දෙයක් නැති වී තිබේ. රනිල් වික්‍රමසිංහ හෝ කරු ජයසූරිය හෝ වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් වූයේනම් පරාජය වුවද ඔවුන්ට සජිත් ප්‍රේමදාස යන බලාපොරොත්තුව ඉතුරු වෙයි. අද ඒ සියල්ල සුනු විසුනු වී ගොසිනි.
කණගාටුවට කරුණ නම් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කදවුර තවදුරටත් කරමින් සිටින්නේ පාක්ෂිකයන් තව තවත් අසරණ කිරීමය. පාක්ෂිකයන්ට අමතරව එක්සත් ජාතික පක්ෂය වටා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එක් වුනු සිවිල් සංවිධාන හා පුද්ගලයන් ගැනද කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඔවුන් කටයුතු කරනු පෙනේ.
සජිත් ප්‍රේමදාස මහතා පරාජය වූ පසු මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ගොස් පත් වුනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතීම අප තුළත් ඔහු පිළිබද යම් විශ්වාසයක් ඇති කළත් ඉන් පසු ඔහුගේ ක්‍රියාකලාපය මගින් අප තුළ ඔහු පිළිබදව ඇති වුනේ යහපත් හැගීමක් නොවේ. ඔහු දවස් ගණනක් තිස්සේ කිසිදු අයකුට විවෘත නොවී කටයුතු කරන ලදී. ආරංචි මාර්ග වලට අනුව ඔහු ගෝල්ෆේස් හෝටලයේ සිට ඇත. පසුව එක් වරම මහජන හමුවක් යොදා ගෙන තිබුණි. එය සිරිකොතේ යොදා තිබුණද ඒ සදහා අවසර නොලැබුණු නිසා එය වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ පැවැත්වුණි. සතියක් පමණ යන තෙක් පැමැණෙන අධික මහජන සහභාගීත්වයක් සජිත් කදවුරේ අපේක්ෂාව වුවත් එය හිතූ තරම් සාර්ථක නොවුණි. අධික ලෙස පාක්ෂිකයන් බස් රථ වලින් පැමිණියේ නැත. මේ එක්කම සුපුරුදු නායකත්ව කැරැල්ල ආරම්භ වී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා මේ සියල්ල තුළ සිටින්නේ සැගවී ගෙනය. එදා වොක්ෂෝල් වීදියේ කාර්යාලයට පැමිණීම හැර ඔහුව දැක ගැනීමට නොහැක. අනෙක් සියලු පක්ෂ නායකයන් තම හිතවතුන් පාක්ෂිකයන් හමු වී ස්තූති කරද්දී සජිත් ප්‍රේමදාස මහතා සැගවී සිටී.
සජිත් ප්‍රේමදාස මහතා අද කළ යුතු වන්නේ මේ හැංගි මුත්තන් සෙල්ලම නොවේ. අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට විශ්වාසයක් ගෙන ඒමට ඔහු කටයුතු කළ යුතුය. විශේෂයෙන් ඔවුන් ආණ්ඩුව කරන සමයේ ඔවුන් සමග වැඩ කල නිලධාරීන්ට හිමින් හිමින් පීඩනය පැමිණෙමින් තිබේ. ඒ වෙනුවෙන් කතා කිරීමට කෙනෙක් නැත. ඔහුව ජයග්‍රහණය කරවීමට කටයුතු කල සිවිල් සංවිධාන වලට ධෛර්යයක් සැපයීමට කෙනෙක් නොමැත. යහපාලනය වෙනුවෙන් ඊට පෙර පැවැති රජයේ දූෂණ චෝදනා විමර්ෂණය කල නිලධාරීන්ට ගැටලුවලට මුහුණ දීමට සිදු වෙමින් පවතින බව පෙනේ. ඒ සදහා හඩක් නැගීමට කිසිවෙකුත් නැත.
මීට අමතරව පැවති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල නව ආණ්ඩුව යටතේත් එලෙසම ලැබී තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ යමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් මධ්‍යම පන්තිය අපේක්ෂා නොකල ආකාරයේ කැබිනට් මණ්ඩලයක් ලැබී තිබේ. වෘත්තික භාවයක් එහි නොමැත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ප්‍රභලතම අමාත්‍ය ධූරයක් ලැබීම කතාබහට ලක් වී තිබේ. රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම කල් යමින් තිබේ. ඔවුන් පත් වූ පසු ඡන්දය ප්රකාශකල පුද්ගලයන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද වැටෙනු ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට සී.අයි.ඩී නිලධාරීන් 700කට අධික ප්‍රමාණයකට රටින් පිටවීම තහනම් කර තිබේ. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ස්ථාපිත කල ප්‍රතිසංස්කරණ අවසන් කිරමට අදාළ සාකච්ඡාද සිදු වෙමින් පවතින බව පෙනේ. මේ සියල්ල සිදුවද්දී සජිත් ප්‍රේමදාස මහතා හැංගි මුත්තන් කරමින් නායක කමක් පස්සේ දුවයි.
සජිත් ප්‍රේමදාස මහතාට මහන මැෂින් බෙදා දෙමින් වියළි ආහාර බෙදා දෙමින් ගෙවල් බෙදා දෙමින් සිදු කරන ලද අනුග්‍රාහක – සේවක සම්බන්ධතාවයක් සහිත 1980 දශකයේ දේශපාලනයෙන් මිදී නූතන ජාතික නායකයකු වීමට අවශ්‍ය නම් සිදු කල යුතු වන්නේ දැන් සිදු කරන හැංගි මුත්තන් සෙල්ලම නවතා ඉහත කරුණු මුල් කරගෙන සටන ආරම්භ කිරීමයි. අලුත් නායකයකුට නැගී ඒමට තිබෙන හොඳම අවස්ථාව ඇත්තේ විපක්ෂයේදී මිස ආණ්ඩු පක්ෂයේදී නොවේ. ජනාධිපතිවරණයෙන් පසු අද වන විටත් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දේශාලන ක්‍රියාවලියකට හෝ වෙනත් දේශපාලන ක්‍රියාවලියකට එක් වී නොමැත. ඊයේ(26) කතානායක නිල නිවසේදී කරූ ජයසූරිය කතානායකවරයා හා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද සජිත් ප්‍රේමදාස මහතා මගහැර ඇති බවයි වාර්තා වන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන් අතර නායකයකු ලෙස ඉස්මතු වන්නේ ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම හා මාධ්‍ය ආයතන මගින් ඔහුව ඉහළට ඔසවා තැබීමත් නිසායි. මාධ්‍ය ආයතන මගින් ඉහළට එසවීමෙන් නායකයකු වීම මහපොළොවේ පවතින දෙයක් නොව එය නූල කැඩුණු සරුංගලයක් වැනිය. අද සජිත් ප්‍රේමදාස මහතා අත්දකින කටුක යථාර්තය එයයි. ඔහු මෙම ජනාධිපතිවරණයට බලෙන්ම ඉදිරිපත් වන්නේ ඔහුටවත් ඔහුගේ තරම අවබෝධ නොවූ නිසාය. අධිතක්සේරුව නිසාය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයම අධිතක්සේරුව පිරුණු එකක් විය. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා තේරුම්ගත යුතු යාථාර්තය නම් ඔහු එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ජනප්‍රියතම නායකයා යැයි කීවද ඔහු මෙරට මැද පන්තිය හා උගත් තරුණයන් අතර කිසිදු ප්‍රසාදයක් දිනා ගෙන ඇති පුද්ගලයකු නොවන බවයි.
මෙතෙක් කිසිදු ජාතික තලයේ දේශපාලනික ගැටලුවක් ආමන්ත්‍රණය කර නොමැති සජිත් ප්‍රේමදාස මහතා වහා එකී දේශපාලනික ගැටලු සඳහා දාර්ශනික මැදිහත්වීමක් සිදු කිරීම ආරම්භ කල යුතුය. එමෙන්ම ඔහුට නායකයකු වීමට නම් දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් මතු වී ඇති ඉහත ගැටලු වලට මෙන්ම ඉදිරියේදී මතුවන තවත් ගැටලු වලට එරෙහිව ශක්තිමත් ජනතා සටනකට නායකත්වය දිය යුතුය. මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදු වූ ඇතැම් පීඩාකාරී ක්‍රියාවලට එරෙහිව කිසිදු ජනතා සටනකට සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය නොදුන්නා පමණක් නොව සහභාගී වූයේද නැති බව අප කවුරුත් දන්නා කරුණකි. දැන් සජිත් ප්‍රේමදාස මහතාට ජාතික නායකයකු වීමට අවශ්‍ය වටපිටාව ඔවුන්ව විපක්ෂයට යාමෙන් සකසා දී ඇත. එසේ නම් සජිත් ප්‍රේමදාස මහතා සිදු කල යුතු වන්නේ වහා ජාතික දේශපාලන ගැටලු වලට ආමන්ත්‍රණය කරන දර්ශනයක් ඇති දේශපාලකයකු වීමත් විපක්ෂයේ දේශපාලන කාර්යභාරය වන නැවත බලය ලබා ගැනීම සදහා ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය විවිධ ක්‍රම මගින් ඉස්මතු කිරීමයි. දැනට සුළුවෙන් ආරම්භ කරන විරෝධය පසුව අති විශාල විරෝධයක් බවට පත් වනු ඇති අතර එයට නායකත්වය දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා නම් ඔහු නිසැක ලෙසම ජාතික නායකයා වී හමාරය.
සජිත් ප්‍රේමදාස මහතා දැන් සිදු කල යුතු වන්නේ කිලී මහරාජාගේත්, බොරුකාර රනිල් විරෝධීන්ගේත්, කිසිදු දේශපාලනික සටනකට පණ දීමට සුදුසුකමක් නැති ඔහු වටේ සිටින එ.ජා.ප මන්ත්‍රීන්ගේත්, උගුල් වලට හසු නොවී ඔහුගේ හැංගිමුත්තන් සෙල්ලම නවතා දමා ආණ්ඩු විරෝධී ශක්තිමත් ජනතා සටනකට නායකත්වය දෙමින් දර්ශනයක් ඇති දේශපාලන නායකයකු වීමයි.
-නීතිඥ දුලාන් දසනායක-
උපුටා ගැනීම – අයිතිය