විජේවීර ඝාතණය කර අදට වසර 31යි

අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්..

රෝහණ විජේවීර (14/07/1943-13/11/1989)

*********************************************

නායකයන් මුහුණදෙන මාරක අනතුර

ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි  ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු  බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත්  ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත් අපට කුමක වේදැයි ට්‍රොට්ස්කි ලේනින් ගෙන්  අසා ඇත.

මෙයින් ඉඟි කරන්නේ  සෑම පරාජිත සන්නද්ධ නැගිටිමකින් පසුව එහි නායකයන්ට අත්විය හැකි ඉරණමය. ඔව්හු  බොහෝවිට ඝාතනය වූ හ. මෙය ජාත්‍යන්තරව මෙන්ම දේශීය වශයෙන්ද  සත්‍යයක්  වෙයි.

උතුරේ කොටි සංවිධානයේ නායකයන් මෙන්ම දකුණේ ජවිපෙ නායකයන්ද තම අරගලය පරාජය වීමත් සමගම සමුලඝතනයට ලක් විය.විජේවීර හරියටම මෙයට 31 වසරකට පෙර හමුදාව විසින් කුරිරු ලෙස ඝාතනය කරන ලදී.

දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද මේ පිලිබදව කිසිම විරෝධතාවයක් දකින්නට නොලැබුණි.  එපමණක් නොවේ .ඒ දිනවල සිට අදත් ඔහුගේ දු දරුවන්ද  මෙන්ම බිරිදද ලංකාවේ ආරක්ෂක හමුදාවේ රැකවරණය යටතේ ජිවත් වීම කිසිදාක යුක්ති සහගත කල නොහැකිය.

පැරණි වමට එල්ල වූ අභියෝගය

මේ විචාරාත්මක අගයකිරීමක් අරමුණු කරගත්  ඉතාමත් කෙටි සටහන ඔහුගේ දේශපාලන ජීවිතය අලලා කරන්නේ ඔහු අපේ පරම්පරාවේ ඉතාමත් සුදනාම් සහිත දේශපාලන මනසක් තිබු නිසාම පමණක් නොවේ.

රෝහණ විජේවීර වමේ දේශපාලන කතිකාව  සහ ගමන් මග අලුත් ප්‍රවේශයකට යොමු කලා පමණක් නොව 1965 පමණ ලංකවේ බිහි වූ  සන්නද්ධ දේශපාලන කණ්ඩයම් කිහිපයක් දක්නට ලැබුනත්  අවසාන වශයෙන් සාර්ථකත්වය ලබා ගත් එකම  රැඩිකල් දේශපලන නායකයා වූ බැවිනි.

එකල වමේ පක්ෂවලට අවේනික වූ  සහ නොකඩවා මතුරනු ලැබූ  බොහෝ සේ නීරස ලෙස පෙනී ගිය මෙලෝ රහක් නැති න්‍යායික සහ,දේශපාලන සහ දෘෂ්ටිමය අවකාශය පිරවුයේ විජේවීරය. මේ යුගය පක්ශාත් මාක්ස්වාදය තවමත් එලි දැක නොතිබුනු යුගයක් විය .

ඔහු එල්ල කල අභියෝගය වාමාංශික ව්‍යාපාරය තුල දැඩි කලබගැනියක් ඇති කරනු ලැබිය.මෙය අත්තටමට වාම ව්‍යාපාරය තුල සිදු වූ ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් ලෙස සැලකිය හැකිය.

පක්ෂය ගොඩ නැගීම

නව සංවිධානයක් ගොඩ නැගීමට ඔහු ආරම්භ කල සාර්ථකත්වය මුලික  කරුණු තුනක් නිසා එකල ආරම්භ වූ  අනික් එවැනි සන්නද්ධ කල්ලි කණ්ඩායම්වලට  වලට වඩා වාසිදයකතාවයක් හිමි කර ගත්  බව මම විශ්වාස කරමි.පළමු වැන්න, ඔහු ලංකාවේ දකුණු අන්තයේ සවාභාවික වාම ඉතිහාසයක් ඇති පවුලකින් පැවත ඒමය.

විජේවීරගේ  පියා  කොමිනිස්ට් පක්ෂ නායකයා වූ දොස්තර වික්‍රමසිංහගේ දිර්ඝකාලින අනුගාමිකයෙක් විය.

දෙවැන්න නම් ඔහුගේ මේ ඉතිහාසය නිසා එවකට පැරණි වමේ පක්ෂවල ප්‍රභූ නායකත්වයට අභියෝග කිරීමට ඔහු ලබා ගත්  ආත්ම විශ්වාසය සහ හැකියාවයි.

තුන්වැන්න විජේවීර ඉදිරිපත් කල පංති පහේ න්‍යායික සහ දෘෂ්ටිමය ගැටළු පැවතියද ඔහු ගොනු කල තරුණ පරම්පරාව මේවා ගැන ගැඹුරු අවධානයක් කලේ නැත. ඒ තරුණ පරම්පරාව 1956 ජයග්‍රාහක  දෙමාපිය පරම්පරාවේ දු දරුවෝ  වුහ.

එමනිසා ඔහු ඉදිරිපත්කල පංති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ග්‍රාමීය බෞද්ධ තරුණයන් ගේ සිංහල දෘෂ්ටිවාදය සමග හොදින් අනුගත විය.

විප්ලවාදී ප්‍රවාහය ගඟක් ලෙස සැලකුවහොත් එයට නොයෙක් න්‍යායික ,දේශපාලන සහ දෘෂ්ටිමය අතු  ගංගාවන් එකතුවෙයි.මේ එකතුවෙන් අතු  ගංගාවන්ගෙන් විප්ලවාදී ප්‍රවාහය සමග සමහන් නොවන ජාත්යොන්මවාදී අපද්‍රව්‍ය සහිත අතු ගංගාවන්ද එකත්වෙමින් ප්‍රධාන ප්‍රවාහය දුෂ්‍ය කරනු ලබයි.

විප්ලවාදී නායකත්වය මෙය සවිඥානවකව අවහිර කොට නවතා  නොදන්නේ නම් එය අපේ සමාජයේ දැඩි ද්‍රව්‍යමය බලවේගයක් වන බැවින් මහා ජාතියට පක්ෂව පිඩිත ජාතියේ අයිතිවාසිකම් නොසලකා හරියි.

අද ජවිපෙට උතුරු නැගෙනහිර වර්ධනය වී ඇති මහා අවිශ්වාසය මෙහි දීර්ග කාලින ප්‍රතිපලය වෙයි. ජවිපෙ මේ ග්‍රාමීය සුළු ධනේශ්වර පංති   පදනම එවකට දේශපාලන සහ න්‍යායික අභියෝගයට ලක් කලේ එකල ප්‍රමුඛ රැඩිකල් ට්‍රොට්ස්කිවදියෙකු  මෙන්ම අපේ යුගයේ දියුණුම න්‍යයවදියා ලෙස සැලකිය හැකි කිර්ති බාලසුරිය විසිනි.

නමුත් එම අභියෝගය ජය ගැනීමට විජේවීරට හැකියාව ලැබුනේ කිර්ති හුදු න්‍යාය වාදියෙකු වූ නිසාවෙන්  සහ විජේවීර න්‍යයවාදියෙකු පමණක් නොව කැපී පෙනෙන ප්‍රායෝගික විප්ලවාදියෙකු වූ බැවිනි.

අනික් අතට මෙය ට්‍රොට්ස්කිවාදය සහ ලෙනින්වාදී පෙරටු බලඇණිවාදී දේශපාලනය අතර වෙනස සංකේතවත්  කරනු  ලැබිය.

ජවිපෙ පරිණාමය

විජේවීර බිහිකළ ජවිපෙ දැන් ලංකාවේ ක්‍රියාත්මක පැරණිම පක්ෂය ලෙස සැලකිය හැක්කේ එය වසර 55 ක් පැරණි නිසා මෙන්ම  ශ්‍රීලනිපය සහ එජාපය ඒවායේ මරණ මංචකයට අවතීරණය වෙමින් සිටින නිසාය.

නමුත් ජවිපෙ කුඩා කණඩායමක් ලෙසද ආරම්භවී සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවා ලංකා දේශපාලන ඉතිහාසයේ අඩසියවසකටත් වඩා කල ගමන තුල අද දකින්නට ලැබෙන්නේ ඔහු ආරම්භ කල පක්ෂය නොවේ.

හෙගල් දර්ශනයේ ඓතිහාසික වර්ධනය ගැන ‘ප්‍රපන්චවේදයේ ආත්මය’නම් ඔහුගේ සුප්‍රසිද්ධ කෘතියේ කියා දෙන උදාහරණය ජවිපෙටද යෙදිය හැකිය.’පුෂ්පය  පිපෙන විට එහි අංකුරය නැතිව යයි.

යමෙකුට  කිව හැක්කේ   පුෂ්පය විකසිත වීමෙන්  අංකුරය ප්‍රතික්ෂේප වූ බවය. එසේම  ගෙඩිය (fruit)  ඇතිවනවිට පුෂ්පය  නැතිව යාමෙන් අනික් අතට එය  ශාකයේ ව්‍යාජ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් වන අතර ඒ වෙනුවට  ගෙඩිය  සත්‍ය ලෙස  පැන  නගිනු ලබයි.

මේ  අවධීන් එකිනෙකින් වෙනකොට හදුනා ගැනීමට හැකිවනවා පණක් නොව අනොන්‍ය වශයෙන් සමහන් නොවීමක් ලෙස එකිනෙක යට පත් කරනු ලබයි.’මෙයින් ම පෙන්වාදීමට උත්සාහ  කරන්නේ  ජවිපෙ පසු කල නොයෙක් අවධීන් සහ  සිය ගමන් මගේදී විශේෂයන්ම 1989 විජේවීර ඇතුළු අනෙක් නායකයන් සමුල ඝාතනය සමග ජාන විපර්යාසයකට භාජනය වූ බවය.

මේ ජාන විපර්යාසයේ තාර්කික ප්‍රතිපලය පසු කලෙක පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමයි. අද පෙරටුගමින්  පසු කරන්නේ පශ්චාත් 1971 සහ පුර්ව 1983 යුගයේ ජවිපෙ පසු කල,එනමුත් දේශපාලන පරිණතභාවය පැත්තෙන් එදාට වඩා නව මාවත් විවුර්ත කල හැකි විභාවත්මක අවධියක බව මම අනුමාන කරමි.

විජේවීර පන්ති සහයෝගිත දේශපාලනය හෙළ දැක්කේය. එමෙන්ම ජාත්‍යන්තර කොමියුනිස්ට්  පක්ෂ සමග විශේෂයෙන්ම චීන සහ සෝවියට් කොමියුනිස්ට්  පක්ෂ සමග සවාධින වූ ස්ථාවරයක් තෝරා ගත්තේය.

අද වනතෙක් විජේවීර ජීවත්ව සිටියානම් රාජ්‍ය බලය ගැනීම කෙසේ වෙතත් ජවිපෙ කොතරම් දුරට එහි ආරම්භක ප්‍රතිපත්තීන් සමග හැඩ ගැසීමට සහ වර්ධනය වීමට ඉඩ තිබුනේද යන්න ගැන සලක බැලීම මේ අවස්ථාවේ ඉතා වැදගත් විවාදයකට තුඩු දෙනු ඇත.

ජැකොබියන්වාදය අසීමිත ලෙස වලද ගැනීම

අවසානවශයෙන්  ජවිපෙ පිලිබදව මා විසින් නිරන්තරයෙන් මතු කරන ප්‍රශ්නයට අවතීරණය වීමට මට අවශ්‍යවන්නේ සමාජවාදී ගමන තුල විකල්ප වූ අදහස් දැරීමට සමාජවාදය වෙනුවෙන් කැපවෙන අනික් පක්ෂවලට  සහ කණ්ඩායම්වල ට ඇති අයිතිය සම්බන්ධයෙනි. බෝල්ෂෙවික් පක්ෂය තුල මෙය ලෙනින් ජීවත්ව සිටින තාක් කල් බොහෝදුරට අකමැත්තෙන් වුවද පිළිගනු ලැබිය.

කිසිම පක්ෂයකට සත්‍යයේ අනුලන්ඝනිය ඒකාධිකාරයක් හිමි නොවේ. එය පිලි  නොගන්නා  පක්ෂයක් විසින් විකල්ප අදහස් දරන්නන් සතුරන් ලෙස සලකා ක්‍රියාකිරීම මහා ව්‍යසනයකට මග පාදා ගනු ඇත. 1987-89 ප්‍රචණ්ඩ වාදී කල පරිච්චේදය තුල වාමන්ශිකයන් සිය ගණනක් ජවිපෙ තුවක්කු කරුවන් විසින් ඝාතනය කලේ ඔවුන් 13 වැනි සංශෝධනයට සහ එමගින් පිහිට වූ පළාත් සභාවලට පක්ෂපාති වූ නිසාය.

මෙය හුදු ‘අඩුවක්’ හෝ ‘නොවිය යුතු  වූ  දේවල්’වශයෙන් තවමත් අර්ථ දැක්වීම  ඛේධ ජනකය. කලින් වාමාංශිකයන් ඝාතනය කලද පසුව ජවිපෙ  සාමාජිකයයෝ  කිසිම ස්වයන්විවෙචනයකින් තොරව පළාත් සභාවලට තරඟ කළහ.

1789 ප්‍රංශ මහා විප්ලවයෙන් උරුම කරගත් ජකොබියන්වාදී ප්‍රචණ්ඩත්වය කිසිම සීමාවක් නැතිව තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නන්ට එරෙහිව යොදා ගැනීම බොහෝ සන්නද්ධ නැගිටීම් වල දකින්නට ලැබුන පමණක් නොව නිර්ධන පංති ආඥාදයකත්වය අසාමාන්‍ය පරිදි දික්ගැස්සීම සදහා ප්‍රයෝජනයට ගැනීම සුලභ ලක්ෂණයකි.

ලංකවේ දී ජවිපෙ සන්නද්ධ අරගලය ආරම්භයේදීම ‘ද්‍රෝහීන් ඝාතනය’කිරීම මුවාවෙන් වමේ පැරණි ක්‍රියාකාරින්ට සහ නායකයන්ට කිසිම වග විභාගයක් නොමැතිව මරණය අත් කර දුනි.

ජවිපෙ මිය ගිය සාමාජිකයන් මෙන්ම මොවුන්ද වමේ පක්ෂවලට පැමිණියේ සමාජවාදය කර මේ රට ගෙන යාමටය.මේ පවුල්වල වේදනාව අදත් රැව් පිලි රැව්  දෙන්නේ ඔවුන් ඝාතනය කිරීමේ යුක්ති සහගත පදනමක් ඇති බව ඒත්තු ගැන්වීමට ජවිපෙ අසමත් වී ඇති බැවිනි.

මෙය රචනා කරන මා ද  බේරුනේ අහම්බයකිනි. එය මරණයේ සහ ජිවිතයේ ලොතරැයියක් වැනි දෙයක් විය.

අවසානයක් නැති අවසානය

විජේවීර ලංකා දේශපාලන ඉතිහාසය අලුත් මගකට යොමු කිරීමට උත්සහ ගත් සහ එම නිසාම සිය ජීවිතය ඒ වෙනුවෙන් පුජා කල දේශපාලනඥයෙක්  ලෙස ඉතිහාසයට එක්ව ඇත.

එනමුදු ඔහු අරමුණු කල යුග පෙරලියට  මුල් වූ යුග පුරුෂයෙකු වන්නේ අනාගතයේ ජවිපෙ සහ පෙරටුගමින් විසින් ඉටුකරන දේශපාලන පෙරළියේ ස්වභාවය අනුවය.

මිනිසුන් ඉතිහාසය නිර්මාණය කරන බව මාක්ස් වරක් කියා ඇත. මාක්ස් ගේ මේ කියමන ලෝකයේ දේශපාලන පෙරළිවලට වෙන කිසිම කියමනකට වඩා බල පා  ඇතයි හැනා ඇරන්ට්  සිය ‘විප්ලවය ගැන’ නම් කෘතියේ සදහන් කොට ඇත.

විජේවීර වැපිරූ භීජයන් ලාංකීය පොළොවේ කෙසේ වැඩේද සහ කෙසේ පල දරයිද යන්න මුළුමනින්ම පාහේ රඳා පවතිනු ඇත්තේ  ඔහුගේ අනුගාමිකයන්ගේ දේශපාලන පරිණත බව  මත බව අපි මතක තබා ගත යුතු වෙමු.

දයාපාල තිරණාගම

More Stories