ranil

ඉදිරි මැතිවරණය ජය ගැනීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත් වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡනදායකයන්ගේ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබා ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එජාප සංවිධායකවරුන් සහ කළමනාකරුවන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

1977 එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ එවැනි ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇතිව අප රට වටේ ගොස් සංවිධාන ජාලය ශක්තිමත් කළ නිසයි. ඒ ගමන අප ආරම්භ කළේ 1973 වසරේ සිට බව මා සිහිපත් කළ යුතුයි. ඒ වැඩපිළිවෙළ නිසා 2/3 ක් බලය ලබාගෙන සිටි ආණ්ඩුව වෙනස් කරමින් 5/6 ක් බලයක් ලබාගැනීමට අපට හැකි වුණා.

1977 මැතිවරණය එලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මට ප්‍රකාශ කර සිටියේ එම ජයග්‍රහණය පදනම් කරගෙන ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ 2ක් තමන්ට ජයග්‍රහණය කිරීමට හැකි බවයි. ඒ අනුව 1982 සහ 1988 පැවැති මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

2015 අප බලයට පත් වීමෙන් පසු රට ඉදිරියට ගෙන යෑමේ නව ගමනක් අප ආරම්භ කළා. විවිධ අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට සහන දීමට අප ක්‍රියා කළා. කොපමණ අභියෝගවලට මුහුණදීම සිදු වුවත් රුපියල බාල්දු වීමට අප ඉඩ දුන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා විශාල වශයෙන් මුදල් ලබා දෙමින් පුළුල් වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළා.

පාසල් දරුවන්ට ටැබ් පරිගණකයක් ලබා දීමට එදා අප උත්සහ කළ අතර ඊට එරෙහිව නැගුණු නොයෙකුත් ක්‍රියාමාර්ග නිසා එම වැඩකටයුත්ත සිදුකිරීමට අපට නොහැකි වුණා. ඒ වගේම එදා සුවසැරිය ගිලන් රථ සේවය මෙන්ම රෝහල් පද්ධතිය දියුණු කළා. එලෙස ඒ පියවර ගෙන නොතිබුණා නම් වර්තමානයේ ඇති කොරෝනා වසංගතය හමුවේ නොයෙකුත් ගැටලුවලට රටට මුහුණපෑමට සිදු වෙනවා.

කොරෝනා වසංගතයෙන් පසු මේ රට අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. සංචාරක ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටී ඇති අතර එහි රැකියාවන්හී නියැළී සිටි විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. එමෙන්ම ත්‍රීවිල් රථ රියැදුරන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අඩු වී තිබෙනවා.

නර්තන ක්ෂේත්‍රයේ නියැළුණු අයට මෙන්ම කුඩා වෙළඳසල් පවත්වාගෙන ගිය අයට ඔවුන්ගේ අාදායමත් අහිමිව ගොස් තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පසු රට හමුවේ මතුව තිබෙන අභියෝග අප ජයගත යුතුයි.

ඒ අභියෝග ජය ගෙන රට ගොඩනැඟිය හැක්කේ කුමන කණ්ඩායමටද කියා රටේ ජනතාව තීරණය කළ යුතුයි. වත්මන් පාලනයට ඒ අභියෝගයට මුහුණ දීමට නොහැකි බව මේ වන විට ඔප්පු කර තිබෙනවා.

More Stories