ශ්රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවය. 1978 සිට මේ වන තෙක් මෙම නීතිය 19 වතාවක් සංශෝධනය වී ඇත.
19 වැනි සංශෝධනය සම්මත වූයේ 2015 අප්රේල් 28 ය.
සාමාජිකයන් 225 ක ගෙන් යුත් පාර්ලිමේන්තුව තුළ මෙම සංශෝධනයට පක්ෂව 215 ක් කැමැත්ත පළ කළහ.
එක් අයෙකු විරුද්ධව ඡන්දය ප්රකාශ කළ අතර, එක් අයෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියේය. 7 දෙනෙකු ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ නො සිටියහ.
1978 සිට බලාත්මකව පැවැති විධායක ජනාධිපති ධූරයේ තිබූ බොහෝ බලතල සීමා කිරීමට මෙම සංශෝධනයට හැකි විය.
ජේ. අාර් ජයවර්ධන පුථම විධායක ජනාධිපතිවරයා බවට පත්වෙමින් නිර්මාණය කළ මෙම ව්යවස්ථාවට සිදු කරණු ලැබූ වඩාත්ම විප්ලවීය සංශෝධනය මෙය විය.
19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට මැතිවරණයකදී අපේක්ෂකයෙකු විය නොහැක. යමෙකු එම නොහැකියාව තිබිය දී එය වසන්කොට , මැතිවරණයකට ඉදිරිපත් වී මහජන ඡන්දයෙන් තේරීපත් වුවද, ඔහුට හෝ ඇයට හෝ එම ධූරය දැරීමේ නීත්යානූකූල අයිතියක් නැත.
මෙම සත්යය, ශ්රී ලංකාවේ අධිකරණය පැහැදිලි ලෙස ඔප්පු කොට තහවුරු කොට ඇත. ඊට ඇති කදිම නිදසුන නම්, එවකට පාර්ලිමේන්තු මන්ත්රීවරියක් වූ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි කිරීමය.
මේ වන විට ශ්රී ලාංකික සමාජය තුළ ඉතා බරබතල ගැටළුවක් හා අභියෝගයක් මතු වී ඇත. ගැටළුව වන්නේ, දෙකෝටි 20 ලක්ෂයකට කට වැඩි ශ්රී ලාංකික ජනතාවගේ පාලකයා ලෙස පත් වී සිටින ජනාධිපතිවරයාට එම ධූරය දැරීමේ නීත්යානුකූල අයිතියක් තිබේ ද යන්නය.
අභියෝගය වන්නේ එකී කාරණය නීතිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද ? කවුරුන් විසින් ද ? යන්නය.
වර්ෂ 2020 මුල් කාර්තුව තුළ , එනම් ජනවාරි 01 දා සිට මාර්තු 31 දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය අත් හළ පුද්ගලයන්ගේ නාම ලේඛනය ඇමරිකානු එක්සත් ජනපදය ප්රකාශයට පත් කර ඇත.
එම නාම ලේඛනය තුළ , ශ්රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම ද ඇතුළත්ව ඇත. එය නිවැරදි නම්, ගෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු පුරවැසිභාවය නීත්යානුකූලව අත්හැර ඇත්තේ 2020 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා වූ දිනයක ය.
එසේ නම්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා නාමයෝජණා ලබා දෙන විටත්, මැතිවරණයේ යෙදී සිටින විටත්, මැතිවරණ ජයග්රහනයෙන් පසුව ජනපති තනතුරේ දිවුරුම් දෙන විටත්, ඔහු පැහැදිලි ලෙස ඇමරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයෙක් බව ඉතා පැහැදිලිය.
එසේ නම් , ශ්රී ලංකාවේ මූලික නීතිය වන, ව්යවස්ථාවට පටහැනිව , ගෝඨාභය රාජපක්ෂට ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමට ඉඩ කඩ ලැබුණේ කෙසේද? මෙය ඉතා සියුම් ලෙස විමර්ෂනය කළ යුතු සිද්ධියක් ය. බැලූ බැල්මට පෙනෙන මෙම නීති විරෝධී පත්වීමට එරෙහිව ලාංකීය සමාජය නීතියට අනුව සටන් කරන්නට අපේක්ෂා කරන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂට එම ඉඩකඩ ලැබුණු පසුබිම සකස් වූ ආකාරය අවබෝධ කර ගෙන සිටීම ද ප්රයෝජනවත් ය.
ඒ පිළිබඳව යථා අවබෝධයක් නොමැතිව නීති සටනකට පිවිසුන හොත් සිදුවන්නේ , ජනාධිපතිවරණ සමයේ ද්ත්ව පුරවැසිභාවයට එරෙහිව අධිකරණය හමුවට ගිය අයට සිදු වූ දෙයමය. එවැන්නක් සිදු වුවහොත්, ලාංකීය සමාජය නීතියෙන් යුක්තිය නොලැබීමේ අපේක්ෂාභංඝත්වයට පත්වී තව දුරත්, බෙලහීන වනු ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභයගේ ප්රධාන ප්රතිවාදියා වූයේ සජිත් ප්රේමදාසය. ඔහු අපේක්ෂකයෙකු ලෙස සුදුසු ද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක්ය. එහෙත් අවසාන ලෙස සජිත් , එ. ජා. ප. ය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එක්ව තැනුණු සංධානයක නිළ අපේක්ෂකයා විය. මෙම මැතිවරණයේ දී සජිත්ගේ ජයග්රහණය වෙනුවෙන් එ. ජා. ප. යේ නායක රනිල් වික්රමසිංහ ප්රමුඛ පිරිසක් පැහැදිලි ලෙසම මඟ හැරීම් සහ කකුලෙන් ඇදීම් සිදු කළ බව ප්රසිද්ධ රහසක් ය.
සාමාන්යයෙන් රනිල් වික්රමසිංහ , තමන් තරඟයකට ඉදිරිපත් නොවෙනවා නම්, පක්ෂයෙන් පිට පිටස්තරයෙකුට එම අවස්ථාව ලබා දෙනවා මිස ,තමන්ගේ පක්ෂයේ අයෙකුට එම අවස්ථාව ලබා නොදෙන පිළිවෙතක් අනුගමනය කරන්නෙකු බව ප්රචලිත කරුණක් ය.
ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු වුයේ , කපන්න බැරි අත ඉබීමක් වැනි දෙයක්ය.
2005 දී ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවිට ඇමරිකන් පුරවැසියෙක් වූ අතර, ලංකවේ ආරක්ෂක ලේකම්ධූරයේ රාජකාරී ඉටු කරණු ලැබුවේ ශ්රී ලංකාවේ ද පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව බවට මතයක් පැවැතිණ. එය නිවැරදි නම්, ඔහු එදා දිත්ව පුරවැසියෙක්ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට තරඟ කළ නොහැකි බවට සමාජ මතයක් ගොඩ නැඟුණේ ඒ අනුවය.
මේ කාරණය නිරවුල් ලෙස ඔප්පු කර ගැනීම සඳහා , ගාමිණී වියන්ගොඩ සහ චන්ද්රගුප්ත තේනුවර අධිකරණය හමුවට ගියේ ඒ අනුවය.
මෙම සිද්ධියේ දී අධිකරණය හමුවට පැමිණි ආගමන විගමන පාලකවරයා , අධිකරණය හමුවේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂට ශ්රී ලංකා පුරවැසිභාවය ලබාදීමට අදාල කිසිම ලිපි ගොණුවක් තමන් භාරයේ නොමැති බවය.
කෙසේ වෙතත්, බැලූ බැල්මට නඩුවක් පවත්වාගෙන යෑමට තරම් ප්රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් ,අධිකරණය නඩුව ඉවත දැමීය. මේ අතර ජනාධිපති නීතීඥ අලි සබ්රී මාධ්ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔහු ලියවිල්ලක් පෙන්වමින් රට හමුවේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉදිරිපත් කළ ඉල්ලිම ඇමරිකා එක්සත් ජනපද රාජ්ය පිළිගෙන එය ඉවත් කර ඇති බවය.
මෙය පට්ටපල් බොරුවක් විය. එදා අලි සබ්රී පෙන්වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් තම පුරවැසිභාවය ඉවත් කර ගන්නා බවට ඇමරිකානු රාජ්යයට ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශයේ කරුණු ඇතුලත් කොට, ඇමරිකා එක්සත් ජනපද රාජ්ය විසින් නිකුත් කළ පෝරමයක්ය. එය කිසි සේත්ම පුරවැසිභාවය ඉවත් කර ඇති බවට ඇමරිකානු රාජ්ය විසින් සහතික කළ ලියවිල්ලක් නොවීය.
ජනතාව නොමඟ යැවූ මේ පට්ටපල් බොරුව , ශ්රී ලංකාවේ ජඩ මාධ්ය විසින් ඉතා සැලසුම් සහගත මෙහෙයුමක් සිදු කරමින් ජනතාව තුළ පැලපදියම් කළේය. ඇමරිකානු පුරවැසිභාවය අත්හැර ඇති බවට සමාජය තුළ මතයක් ගොඩ නැඟීමෙන් පසුව, රාජපක්ෂවරුන්ගේ ඊළඟ මෙහෙයුම වූයේ ගෝඨාභය රාජපක්ෂට ශ්රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බවට වූ සාක්ෂි ලබා ගැනීමය.
2005 දී ගත්තා යැයි කියන පුරවැසිභාවය ඔප්පු කිරීමට සාක්ෂිත් නැති තත්ත්වයක් තුළ හා , අලි සබ්රී කියන ආකාරායට ඇමැරිකානු පුරවැසිභාවයත් නොතිබුණේ නම්, ඒ අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂ යනු කිසිම රටක පුරවැසිභාවයක් නොමැතිව සිටි පුද්ගලයෙක් ය. එවැනි තත්ත්වයක් තුළ නාමයෝජනා භාර දෙන අවස්ථාවේ දී යමෙකු විරෝධතාවයක් ඉදිරිපත් කළ හොත්, ගෝඨාභයගේ අපේක්ෂකත්වය අහිමිවීමට ඉඩ තිබුණු බව රාජපක්ෂවරු දැන සිටියහ.
මේ පිළිබඳව තිබූ අවිනිශ්චිතභාවය කොතරම්ද කිව හොත්, චමල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාර දෙන තැනට ඔවුන් ගමන් කළහ. රාජපක්ෂවරුන්ගේ මේ අවිනිශ්චිතභාවය තුරන් කොට නිදහසේ සටනට එන්නට පාර කපා දීමේ මහඟු සේවය සිදු කළේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිලය.
දැඩි රනිල්වාදියෙකු මෙන්ම, රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙකු ලෙස ප්රචලිත්ව සිටින , එවකට රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු භාර ඇමැති වජිර අබේවර්ධන ඊට නිසි උපකාරය ලබාදීමට පියවර ගෙන තිබූ බව පසුව හෙළි විය. පුරවැසිභාවය නොමැති අයෙකුට එය ලබා දීමට අභිමතය ඇත්තේ ආගමන හා විගමන පාලකයට ය. ආගමන හා විගමන පාලකයා කටයුතු කරන්නේ ඔහුට අදාල ඇමැතිවරයාගේ උපදෙස් මත බව වසන් කළ නොහැක.
ඒ අනුව වජිර අබේවර්ධන ගේ උපදෙස් මත, 2019 දී ගෝඨාභය රාජපක්ෂට ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලබා දී ඇත. පුරවැසිභාවය සනාථ කිරීමට අවශ්යවන ප්රධාන සාක්ෂි දෙක වෙන්නේ රටේ ගුවන් ගමන් බලපත්රය සහ හැඳුනුම් පතය. ඒ දෙකම ඔහුට ලබා දීමට වජිර අබේවර්ධන කාරුණික වී ඇත.
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ සිද්ධියේ දී ස්වාධීන මැතිවරණ කොමිෂම සහ එහි සභාපති මහින්ද දේශප්රිය ගේ ක්රියා කලාපය ද ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාතීව සිදිවූ බව වසන් කළ නොහැක. 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය පරීක්ෂා කිරීමේ බලය ඒ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවට නොතිබුණ ද, එම බලය ලබා ගැනීමට අධිකරණය හමුවට යෑමට යුතු කමක් මෙන්ම වගකීමක් ද කොමිෂමට තුබුණු බව පැහැදිලිය.
නමුත් මහින්ද දේශප්රිය කළේ තමන්ට දිත්ව පුරවැසිභාවය පරීක්ෂා කිරීමට බලයක් නොමැති බව ප්රසිද්ධියේ කියා පෑම පමණය.
අනෙක් අතට ප්රධාන විපක්ෂයට ද මේ වගකීමේන් මිදිය නොහැක. අඩුම තරමින් නාමයෝජනා භාර දෙන මොහොතේවත් ඔවුන් කිසිදු විරෝධයක් ඉදිරිපත් නොකර නිහඬ විය.
එ. ජා. ප. යේ සජිත් පිලේ අයත් රාජපක්ෂවරුන් සමඟ හොරෙන් ඩීල් දමන නිසා ඔවුන් විරෝධතාවයක් නොදැක් වුවා යැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් මේ සිද්ධියේ දී ජනතා විමුක්ති පෙරමුණේ නිහඬතාවය සහ මග හැරීම කිනම් කරුණකින් සාධාරණය කළ හැකි ද?
ජනාධිපතිවරණ සමයේ දී සිදු වූයේ අතපසුවීමක් නම්, එය නිවැරදි කර ගැනීමට ශ්රී ලංකාවේ විරුද්ධ පක්ෂවලට දැන් අවස්ථාවක් ලැබී ඇත.
යමෙකු මැතිවරණයට ඉදිරිපත්වන විට සපුරාලිය යුතුව තිබූ හැකියාව , ඒ අවස්ථාවේ නොතිබුණා නම්, තිබුණේ නොහැකියාව නම්, ඔහු තේරී පත්වීමේන් ලබා ගෙන ඇති තනතුර නීතිය ඉදිරියේ වලංගු නොවනු ඇත.
ගීතා කුමාරසිංහ නම් කාන්තවගේ පාර්ලිමේන්තු ධූරය අහිමි කිරීමට නීතිය ඉදිරියේ සටන් කළ ලාංකීය පුරුෂයන් , මේ අභියෝගය භාර ගනීද? නැතිනම්, නැසූ කණින් කරබා සිටී ද? මේ පිළිබඳව අනාවැකි කීමට තවමත් කල් වැඩිය. යහපත් සමාජයක පූර්වාදර්ශ සපයන චරිත ලෙස බොහෝ දෙනා සලකන , භික්ෂූන් ඇතුළු පූජ්ය පක්ෂය, රාජ්ය නිළධාරීන්, යුක්තිය පසිඳලන්නන්, කලාකරුවන් මෙන්ම ජනමාධ්යකරුවන් ඔවුන්ගේ ආත්මයන්ගේ අක්මුල් සිඳ ගෙන තිබෙන තත්වයක් තුළ , පාලකයෝ තමන්ගේ ජයග්රහන ලබා ගන්නේ බලය යොදා ගැනීමෙන්ය.
බලය යොදමින් පාලකයා කරන සටන, පරාජයට පත් කළ හැක්කේ , ඒ සමාජය තුළම සිටින යහපත් සමාජයක් අපේක්ෂා කරන නීතිය අනුව සටන් කරන ජනතාවකට පමණය. කොතරම් කුණු වී ගිය ද , ලාංකීය සමාජය තුළ එවන් මිනිසුන් සුළු පිරිසක් හෝ සිටිනු ඇත.
අපට ඒ දෙස අපේක්ෂාවෙන් යුතුව බලා සිටිය හැක්කේ ඒ අනුවය.
සුනිල් ගාමිණී.