politics

අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය.

කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැත. ඒ කාලයේ අත්දැකීම නම් ඊට වෙනස් ආර්ථික පිළිවෙත් අනුගමනය කළ රටවල් මෙම වර්ගයේ රටවල් අභිබවා වේගවත් සංවර්ධනයක් අත්කර ගැනීම යි.

එම අත්දැකීම්  නිසා  ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ ද, ශ්‍රී ලංකාව වැනි රටවලට ස්ථිර සාර නව ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩ නගාගත නොහැකි වූ බව පෙනෙන්නට තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ අපට පැරණි මිත්‍යා ජාතිකවාදී මතවලින් බැහැර වීමට නොහැකි වීම යි. නැවතත් පැරණි ආරක්ෂණ වාදය ක්‍රියාත්මක කිරීමට දිගින් දිගට උත්සහ දැරීම යි.

මෑතක දී එම අදහස් නැවත ප්‍රකශ කොට තිබුණේ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ය. පසුගිය කාලයේ මෙරටට ආනයනය තහනම් කොට තිබු භාණ්ඩ 1645 කින් 795 ක තහනම ඉවත් කළ බවත්, තවත් භාණ්ඩ ගණනාවක තහනම ඉදිරි කාලයේ දී ඉවත් කරන බවත් කී ඒ මහතා තව දුරටත් කීවේ ඇතැම් භාණ්ඩ ගෙන්වීම දිගට ම තහනම් කළ යුතු බව තමන්ගේ අදහස බව යි. පොල් මද , සරුංගල්, වෙසක් කූඩු, උණ බට ආදිය දිගට ම තහනම් කොට ඒවා මෙරට නිපදවිය යුතු බව ඒ මහතා කී ය. ජාතිය නගා සිටුවිය හැක්කේ එමගින් බව ඒ මහතාගේ අදහස යි.

බැලු බැල්මට මේ අදහසේ වරදක් ඇතැයි පෙනෙන්නට නැත. ඔහු එය ඉදිරිපත් කරන්නේ ජාතිය නගා සිටුවීම යන පරමාර්ථය සමග ය. පවතින විදේශ විනිමය ප්‍රශ්නය හමුවේ කෙටි කාලින වශයෙන් මෙවැන්නක් ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය වෙයි. එසේ වුව ද, ප්‍රශ්නය වන්නේ එය දිගු කාලීන උපාය මාර්ගය කරගත් විට ය. ඔහුගේ සහ මෙම අදහස ඉදිරිපත් කරන බොහෝ දෙනාගේ අරමුණ වන ජාතිය නගා සිටුවීම වෙනුවට එමගින් සිදු වන්නේ ජාතිය ආර්ථික වශයෙන් වළ පල්ලට යැවීම බව මෙබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ රටවල අත්දැකීම වී තිබේ.

මහින්ද රාජපක්ෂ පාලනය මෙම අදහස් ප්‍රචලිත කරමින් ක්‍රියාත්මක කරන්නට යම් උත්සහයක් දැරීය.  ගොඨාභය රාජපක්ෂ  පාලනය ඒ සඳහා දැඩි උත්සහයක් දැරීය. කහ වලින් , මුන්ඇට වලින් , බඩඉරිඟු වලින් ස්වයංපොෂිත කරන්නට දැරූ උත්සාහයේ ප්‍රතිඵල අපි දනිමු. කාබනික ගොවිතැන ද එහි අන්තයකි. දැන් වත් එම විනාශයේ පාඩම් ඉගෙන ගත යුතු ය.

දේශීය වශයෙන් යමක් නිෂ්පාදනය කිරීමෙන් රටට හානියක් වන්නේ කෙසේ දැයි කෙනෙකුට විශාල ප්‍රශ්නයක් විය හැකි ය. අපට විද්‍යාවක් අවශ්‍ය වන්නේ මෙබඳු ප්‍රශ්න තේරුම් ගැනීම සඳහා ය.

මෙහි දී හොඳින් තේරුම් ගත යුතු කාරණයක් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය සහ වටිනාකම් නිෂ්පාදනය අතර වෙනස යි. අවශ්‍ය වන්නේ වැඩි භාණ්ඩ ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය නොව වැඩි වටිනාකමක් නිෂ්පාදනය කිරීම යි. වත්මන් ආර්ථික විද්‍යාඥයන් ඒ ගැන කියන්නේ තරගකාරී මිලකට භාණ්ඩ නිපදවිය යුතු බව යි. ඔවුන්ගේ තර්කය වටිනාකම යනු තරගකාරී වෙළෙඳපොළක පාරිභෝගිකයා ගෙවන්නට සුදානම් මිල බව යි.

ජාත්‍යන්තර ලෙස තරගකාරී ලෙස තම නිෂ්පාදනය කළ නොහැකි නිෂ්පාදකයකුට ආනයන තහනම මගින් වෙළෙඳපොළ ආරක්ෂා කර දුන් විට සිදුවන්නේ පාරිභෝගිකයාට භාණ්ඩ සඳහා එහි වටිනාකමට වැඩි මිලක් ගෙවීමට සිදුවීම යි. එම මිල ගෙවන්නේ සමාජයේ වෙනත් තැනක නිපදවන වටිනකමකිනි. එය ජාතික ධනයෙන් වක්‍ර සහනාධාරයක් දීමට සමාන ය.

වටිනාකම පිලිබඳ කාල් මාක්ස්ගේ විග්‍රහය අනුව මෙය තේරුම් ගැනීම වඩාත් පහසු ය. මාක්ස් කියන්නේ වටිනාකම තීරණය වන්නේ සමාජීය වශයෙන් අවශ්‍ය ශ්‍රම ප්‍රමාණය මත බව යි. වෙනත් තැනක අඩු ශ්‍රමයක්, එනම්, අඩු සම්පත් යොදා කරන නිෂ්පාදනයක් වැඩි ශ්‍රමයක් යොදා කිරීමෙන් අප වැඩි වටිනාකමක් නිපදවන්නේ නැත. අප නිපදවන ඇත්ත වටිනාකම වන්නේ අඩු ම වියදමකින් කරන නිෂ්පාදනයේ මිල ය. එයට වැඩි මිලක් ලබා දීම යනු ජාතික ධනය විනාශ කරමින් අකාර්යක්ෂම නිෂ්පාදනයක් නඩත්තු කිරීම යි.

මෙහි ඇති අනෙක් විපත නම් රට සතු සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම යි. සම්පත් නාස්ති කිරීම යි.

අප කළ යුතු වන්නේ අපට තරගකාරී ලෙස වැඩි වටිනාකම් නිපදවිය හැකි ක්ෂේත්‍ර වෙත සම්පත් ගලා යාමේ අවස්ථා නිර්මාණය කිරීම යි. අපගේ ව්‍යවසායකයින් එබඳු නව ක්ෂේත්‍ර සොයා ගනිමින් වර්ධනය කරමින් සිටින බව අපි දනිමු. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අඹ, කෙසෙල්, ඇතැම් මිරිස් වර්ග , විසිතුරු කොළ , වැනි අලුත් තරගකාරී ක්ෂේත්‍ර විවෘත වී ඇත. අවස්ථා විවෘත කළ හොත් තවත් එබඳු ක්ෂේත්‍ර විවර කරගත හැකි වනු ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයේ ද එම හැකියාව ඇත. අපගේ භුමිය, ශ්‍රමය ඇතුළු සියලු සම්පත් යොමු කළ යුත්තේ එබඳු තරගකාරී කාර්යක්ෂම ක්ෂේත්‍ර වෙතට ය.

ආර්ථික විද්‍යාඥයින් ඔවුන්ගේ භාෂාවෙන් මෙය කියන්නේ ‘ආනයන ආදේශන වෙනුවට අපනයන ආර්ථිකයක් වෙත යොමු විය යුතු ය’ යනුවෙනි. ප්‍රශ්නය වන්නේ එහෙම කිව්වාට සාමාන්‍ය ජනයාට මෙය තේරුම් ගැනීම අපහසු වීම ය.

එසේ න්‍යායික ලෙස තේරුම් නොගත්ත ද ජනයා තමන්ගේ ආර්ථික කටයුතු කරන්නේ මීට සමාන ආකාරයෙනි. ගොවීන් තමන්ගේ ඉඩමේ තමන්ට අවශ්‍ය සියලු දේ වවන්නට යන්නේ නැත. ඔවුන් කරන්නේ තමන්ට හොඳින් කරන්නට හැකියාව ඇති නිෂ්පාදනයක් හෝ දෙකක් කර වෙළෙඳපොළෙන් අනෙක් අවශ්‍යතා ලබා ගැනීම යි. එය වඩා වාසිදායක බව ඔවුහු අත්දැකීමෙන් දනිති.

ජාතියක් ලෙස නැගිටින්නට හැකි කාර්යක්ෂම තරඟකාරී  ජාතික ආර්ථිකයක් ගොඩ නැගිය හැක්කේ ද ඒ ආකාරයෙනි. වටිනාකම් ගිලින අකාර්යක්ෂම දේශීය නිෂ්පාදන සඳහා රැකවරණ සලසමින් රටේ සම්පත් නාස්ති කිරීමෙන් එය කළ නොහැකි ය.

එබඳු ආරක්ෂණ වාදයකින් සිදුවන්නේ ජාතිය තවත් වළ පල්ලට යෑම මිස ජාතියක් ලෙස ගොඩ යෑම නොවේ . මෙම වර්ගයේ ආර්ථික ජාතිකවාදය මගින් රටේ විනාශය කැඳවීම පමණක් සිදුවන බව දැන් වත් තේරුම් ගත යුතුව ඇත.

සී ජේ අමරතුංග

More Stories