දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා, ඔහුගේ මුදල් පසුම්බිය කපාගන්නවා අපරාධකරුවෙක්. ඒ තුවාලයෙන් ඔහු ලේ වැගිරෙමින් ඉන්නකොට, ඔහුව රෝහලට ඇතුල් කරනවා. දැන් සැත්කමක් කරන්න ඕනේ ඉඳගන්න කියලා. සැත්කම කරන්න. දැන් නොගත්තොත්, ලෙඩා මැරෙනවා කියමින්, තව ගැඹුරට හාරනවා. රෝහල් ගිහිල්ලා උඹට ගෙවන්න තියෙනවා කියලා හැබැයි පර්ස් එක විකුණනවා. මොකක්ද මෙතන නැත්තේ? ඔහුට වෙඩි තබලා පර්ස් එක පැහැරගෙන ගිය අපරාධකාරයා අත්අඩංගුවට අරන් නෑ. ඒ වගේ තමයි අද මේ රටේ සාමාන්‍ය මහජනයාටත් කරලා තියෙන්නේ. දේශපාලකයෝ, නිලධාරීන්, ව්‍යාපාරික පැලැන්තියක් මොකද කරලා තියෙන්නේ? මහජනයාට දරුණු තුවාලයක් කරලා තියෙනවා මේ රටේ. දස ලක්ෂයක් පවුල් වලට. ඒ දරුණු තුවාලය මේ නැතිවෙමින් තියෙන්නේ. තව බදු ගගහාමේ උණ්ඩය හදන්නම් අරගන්නම් කියලා. හැබැයි දඬුවම් දීලා නැති බව හැමෝටම පේනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපරාධ පිළිබඳ විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා මේ රටේ ආර්ථික තීරණ ගත්ත අය විශේෂයෙන්ම මහ බැංකුවේ මුදල් මණ්ඩලය හා මහ බැංකුවේ අධිපතිවරු මුදල් ඇමතිවරු අනිවාර්යෙන්ම වගකිව යුතුයි. ආර්ථික අපරාධ පිළිබඳ විශේෂ කොමිෂන් සභාවකින් මේ අය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට යුක්තිය අනිවාර්යයි. ඒ වගකීම එක්සත් ජාතික පෙරමුණ ඉටුකරනවයි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.”

“ඒ බංකොලොත් කරපු අපරාධකාරයින්ට දඬුවම් නොකර අපට මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බෑ. මහජනයාට මේ දේවල් තවදුරටත් දරාගන්න බෑ. තමන්ගේ බැංකුව නිවැරදිව මේ සල්ලි ආයෝජනය කරනවා කියලා. දැන් අර්ථසාධක අරමුදලේ සේවකයින්ට තිබිච්ච විශ්වාසය මහ බැංකුව කඩලා ඒ ප්‍රතිලාභය නැති කරලා තියෙනවා. අවුරුදු තුනක් ඇතුළත අයිස්ලන්තය බංකොලොත්භාවයෙන් මිදිලා බලගතු රටක් හැටියට ඉදිරියට ගිහින් තියෙනවා. ඒ විදියට ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න.”

දුප්පතුන්ට පැහැදිලි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අවධාරණය කළ රණවක මහතා, සැබෑ දුප්පතා හඳුනාගෙන ඒ කටයුත්ත කරන ක්‍රියාවලියක් අවශ්‍ය බව ද අවධාරණය කළේය.

එක්සත් ජනරජ පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක් වූ පාඨලී චම්පික රණවක මහතා;

“අද අපි මෙතන මේ ආරම්භ කරපු ක්‍රියාවලිය, කොළඹ තියෙන ආසන 15 ම ඉදිරි කාලයේ අපි ගෙනියන්න ඕනේ. වැඩි වැඩියෙන් අපේ සංවිධානය වීම අවශ්‍යයි. අනිත් අයගේ විවේචනයට වඩා අවශ්‍ය රට ගොඩනගන්න අපට පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසය අපි කොහොමද ගොඩනගාගෙන තියෙන්නේ? අද ඔය සමහර ඇත්තෝ විවිධ කතා පවත්වනවා. හැබැයි මේ අය ලක්ෂ විස්ස තිහ පගාව අරගෙන තමයි ඒ කටයුත්ත කළේ. ඒ නිසා අපි මෙතනට වැඩ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් අපිව පරීක්ෂා කරන්න දෙයක් නෑ. අපි කණ්ඩායම අලුතින් පරික්ෂා කරන්න යන්නෑ. අලුත් මිනිස්සු ඕනේ. අලුත් මිනිස්සු මේ හැම දිස්ත්‍රික්කයේ ම හැම තැනකින්ම අපිට අලුත් ජන බලයක් ඕනේ. අන්න ඒ ජන බලය ගොඩනඟා ගැනීම සඳහා ඔබ සියලු දෙනාම අද සිට සැප්තැම්බර් මාසය දක්වා වැඩ කරන්න. මේ සැප්තැම්බර් මාසය වෙනකොට මේ රටේ සෑම දිස්ත්‍රික්කයේ ම ජනරජ පෙරමුණේ සමුළු පවත්වා අවසන් කරනවා ලබන සතියේ අපි ගම්පහට. ඊළඟ සතියේ අපි මහනුවරට ආදී වශයෙන්. අපි සංවිධානය වෙන්නෙ, රටේ ජනතාවට අහිමි වෙච්ච සමෘද්ධිය මේ රටේ ජනතාවට රටට ලබාදෙන වැඩපිළිවෙළක් අපි දියත් කරලා තියෙන්නේ. ඉදිරි කාලයේ දී මුළු දිස්ත්‍රික්කය ම විධිමත් විදිහට ශක්තිමත් විදිහට සංවිධානය කරගෙන අපගේ ඊළඟ මහා සමුළුව මේ රටේ හැම බිම් අඟලක්ම නියෝජනය කරන දැවැන්තම පක්ෂයක් බවට එක්සත් ජනරජ පෙරමුණ පත් කරගන්න අධිෂ්ඨාන කරගන්න.”

සමුළුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, උප සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, කොළඹ කලාප නායක, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා, ජාතික මණ්ඩලයේ ලේකම්, මධ්‍යම කාරක සභික බෝසෙත් කළහෙපතිරණ යන මහත්වරුන් ද, කොළඹ කාන්තා සංවිධාන නියෝජනය කරමින් සිත්ති අසීසා මහත්මිය ද දේශන පැවැත්වූහ.

මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන්, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ජාතික මණ්ඩල සාමාජිකයන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

Similar Posts