rohan

විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ යාම ආදියයි.

වර්තමාන අර්බුදයට විසඳුම මාර්ග දෙකක් ඔස්සේ සම්පාදනය කළ හැකි බව උදය ගම්මන්පිල සිතන බව පෙනේ. එනම්, බැසිල් රාජපක්ෂට හා වෙනත් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී පදවි සහ වෙනත් වැදගත් තනතුරු දැරිය නොහැකි තත්වයට පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම සහ පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඔහු සහ විමල් වීරවංශ බලාපොරොත්තු වන්නේ වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා යටතේම සංශෝධනය කර හදිසි මැතිවරණයක් පැවැත්වීමයි.

මුල් අදහස බොළඳ එකකි. 2015ට පෙර බැසිල් රාජපක්ෂ කැබිනට් ඇමතිවරයකු ලෙස කටයුතු කරද්දී සහ ද්විත්ව පුරවැසියන් සමග ගොඩනගන ලද සන්ධානය බලය හොබවද්දී ගම්මන්පිල විරෝධය පළකළේ නැත. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පක්ෂව ඔහු ඡන්දය ලබාදුන්නේය. ඇමති මණ්ඩලයෙන් පළවාහරින ලද නිසා ගම්මන්පිල මහතාට පළිගැනීමේ උවමනාවක් තිබෙනවා විය හැකිය. ඒ කාරණය වෙනුවෙන් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම නාස්තියකි.

මේ මොහොතේ මහ මැතිවරණයක් කැඳවීම සඳහා ඔහු ඉදිරිපත් කරන දෙවෙනි යෝජනාවෙන් පෙනෙන්නේ අප මුහුණදී සිටින පෙර නොවූ විරූ අර්බුදය පිළිබඳ ඔහුට තිබෙන්නේ දුබල අවබෝධයක් බවයි. දුරදිග නොබලන දේශපාලනඥයන් නැවත නැවතත් කරන ලද පරිදි, ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ ජනතාවගේ සුබසිද්ධියට නොව, දේශපාලන කාරණාවලටයි.

වහා විසඳිය යුතු ප්‍රශ්න මොනවාද?

වෙනත් ද්විපාර්ශ්වීය ණයවලට අමතරව, එක්සත් ජනපද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය තව මාස තුනකට අඩු කාලයකින්, එනම් 2022 ජුලි 25දා, එකවර ආපසු ගෙවිය යුතුය. එය පසුගිය ජනවාරියේ ගෙවන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවල වටිනාකම මෙන් දෙගුණයකි. මැතිවරණ පැවැත්වුණත්, නැතත්, ආණ්ඩුවක් තිබුණත්, නැතත්, ඒ වන විට ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් සිදුකර නොගතහොත්, ජුලි මාසයේදී මේ ණය ගෙවිය යුතුය. එසේ නොමැති වුවහොත්, ශ්‍රී ලංකාව අවිධිමත් ලෙස ණය නොගෙවා පැහැරහැරි රාජ්‍යයක් බවට පත්වේ. ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් විස්තර කරන ලද පරිදි එය ‘සිවිල් යුද තත්වයක් තරමටම නරකය.’ එවැනි ණය පැහැරහැරීමක තත්වය අධ්‍යයනය කිරීම සඳහා 2020 මාර්තු මාසයේදී ලෙබනනයේ ඇතිවූ තත්වය හැදෑරිය හැකිය.

2019 වසරේ අවසන් කාර්තුවේ සිට (අවිධිමත් ලෙස ණය ගෙවීම පැහැරහැරීමට මාස තුනකට පෙර), ලෙබනන මුදල් ඒකකය එහි වටිනාකමින් 90%කට වඩා අවප්‍රමාණ විය. 2020 වසරේ වාර්ෂික උද්ධමනය 84.9%ක් විය. 2021 වසරේ ජූනි වන විට, රජයේ සංඛ්‍යාලේඛන අනුව, පාරිභෝගික භාණ්ඩවල මිල ආසන්න වශයෙන් සිව්ගුණයකින් ඊට පෙර වසර දෙක තුළදී වැඩිවී තිබිණි. ධනවත් ලෙබනන් ජාතිකයන් හැර අනෙක් අයට තම ආහාරයේ ප්‍රෝටීන් අඩුකිරීමට සිදුවිය. කාර්වලට ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල සිටීමට සිදුවිය. දීර්ඝ කාලයන් සඳහා විදුලිය නොමැති විය. අර්බුදය ආරම්භ වන සමයේ තිබුණු මිල මෙන් දසගුණයකින් විදුලි බිල වැඩිවිය. විදුලි ජනක යන්ත්‍ර හිමියන්ට ඉන්ධන වියදම දරාගත නොහැකි විය.

ලෙබනනය පුරාම ඉන්ධන හිඟයන් හා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවිය. ඉන්ධන ලීටර කීපයක් ලබාගැනීම සඳහා රියදුරන්ට පැය ගණන් පෝලිම්වල බලාසිටීමට සිදුවිය. එසේ බලාසිට පවා ඉන්ධන අවසන් වූ පසු හිස්අතින් යන්නට ඇතැමෙකුට සිදුවිය. ඖෂධ සැපයුම විශ්වාස නොතැබිය හැකි තත්වයට පත්විය. වේදනා නාශක හා අධි රුධිර පීඩනය සඳහා වන ඖෂධ සොයාගැනීම දුෂ්කර විය. විෂාධයට දෙන ඖෂධ වැනි බෙහෙත් වෙළඳපොළෙන් අතුරුදහන් විය. ඉන්සියුලින් සොයාගැනීම දුෂ්කර විය. අවුරුදු දෙකකට පෙර ළදරු කිරි වෙනුවෙන් ගෙවිය යුතු වූ මිල මෙන් හත්ගුණයක් ගෙවන්නට ජනතාවට සිදුවිය.

මාස කීපයකට පෙර මා පළමු වතාවට ලෙබනන් අර්බුදය ගැන සටහන් කළ අවස්ථාවේ එය ශ්‍රී ලංකාවේ සිදුවිය නොහැක්කක් ලෙස සමහරුන්ට පෙනිණි. ආණ්ඩුවට කඩේ යන උදවිය මගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය: “සාමාන්‍ය ජනයාට බියක් සැකයක් ඇති වුවද, ශ්‍රී ලංකාව ලෙබනනය සමග සන්සන්දනය කිරීමෙහි තේරුමක් නැති බව ඔවුහු ඇතුළාන්තයෙන් දනිති. දිගු කලක සිට තමන් බියවද්දන විශ්වාස කළ නොහැකි පුද්ගලයන් (කැසැන්ඩ්‍රාවන්) සමාජයේ සිටින බව ඔවුහු දනිති.”

විදුලි බලය නොමැතිව පැය ගණන් පීඩාවට පත්ව සිටින ජනයාට කවුරුන් හරිදැයි තීරණය කිරීමට එම කාලය පාවිච්චි කළ හැකිය. රාජ්පාල් අබේනායක ග්‍රීක සාහිත්‍යය පටලවා ගෙන වැරදි අනුරූපකයක් පාවිච්චි කර ඇත. කැසැන්ඩ්‍රාවන්ට සත්‍ය අනාවැකි කීමේ දිව්‍යමය බලය තිබුණත්, ඒවා විශ්වාසයට ලක්නොවීමේ ශාපයට ය යටත්ව සිටියාය. ඇය නිවැරදිව අනාවැකි කීවාය. බලධාරීන් ඇයට සවන්දුන්නා නම් ට්‍රෝයි පුරය බේරාගැනීමට තිබිණි.

ශ්‍රී ලංකාව අවිධිමත් ණය පැහැරහැරීමක් වළක්වාගත යුතුය. අපගේ ජනතාවට බෙහෙත්, ආහාර, ඉවුම් පිහුම් සඳහා ගෑස්, ප්‍රවාහනය සහ විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ආදිය අවශ්‍යය. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තිබෙන එකම මාර්ගය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග වෙන වෙනම සාකච්ඡා වහාම ආරම්භ කිරීමයි. ලෝක බැංකුවේ හිටපු වැඩ බලන ප්‍රධාන ආර්ථික විශේෂඥ ශාන්ත දේවරාජන් පවසන පරිදි ඉදිරි සති දෙක තුළ එම සාකච්ඡා ආරම්භ කළ යුතුය.

මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීමේ ආදීනව

අප්‍රේල් මාසය තුල ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ යයි සිතමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් යොමුකළ යුතු අතර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ගනුදෙනු කිරීම සඳහා විශේෂඥ නීති ආයතනයක සහාය ලබාගත යුතුය. මෙම ක්‍රියාවලි ඉදිරියට යන අතරේ උදය ගම්මන්පිල යෝජනා කරන මහ මැතිවරණයක් පවත්වන්නට ගියහොත් එම සාකච්ඡා වහාම අත්හිටුවනු ලබනු  ඇත. එයට හේතුව වන්නේ අලුත් ආණ්ඩුවක් පිහිටවන තුරු සාකච්ඡා සඳහා විශ්වසනීය පාර්ශ්වයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි. (යම් ආකාරයකින් හමුදාව බලය ලබාගැනීමක් සිදුවුව ද අත්වන්නේ එම ප්‍රතිඵලයම බව ද පැවසිය යුතුය.)

අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා කඩදාසිත්, නිලධාරීන් දහස්ගණනක් රට පුරා සේවයේ යෙදවීමට ඉන්ධනත් මොන යම් ආකාරයකින් හෝ සොයා ගත හොත්, මැතිවරණය ජූනි මාසයේදී පැවැත්විය හැකිය. අවසන් මහ මැතිවරණයට රුපියල් බිලියන හතක් වැය විය. තවත් වටයකින් මුදල් අච්චු ගසා අවශ්‍ය බිලියන් ගණන ලබාදීමට සිදු වනු ඇත. ඒ හේතුවෙන් අප අධි උද්ධමන ක්‍රියා දාමයකට ගොදුරු වීමට ඉහල සම්භාවිතාවක් ඇත.

අලුත් මන්ත්‍රීවරුන් වර්තමාන පිරිසට වඩා දියුණු පිරිසක් වන බවට විශ්වාසය තැබිය හැකි හේතුවක් නැත. වර්තමාන ජනාධිපතිවරයාට ඇමති මණ්ඩලය පත්කිරීම සඳහා අතිවිශේෂ බලතල ලබාදෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් බලාත්මක වනු ඇත. අලුත් පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධ පිරිසගේ ආධිපත්‍යයට යටත් වේ නම්, දිග්ගැසුණු ඝට්ටනයකට රට තල්ලුවනු ඇත. තත්වය 2001දී සිදුවූ දෙයටත් වඩා භයානක වනු ඇත. මේ කඹ ඇදීම් මැද 2022 ජුලි මාසය උදාවනු ඇත.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීමට පමණක් නොව, ඉන්ධන ආනයනය කිරීමට පවා මුදල් නැති වනු ඇත. අවිධිමත් ණය පැහැරහැරීමක් සිදුවනු ඇත. රටේ ඉන්ධන හිඟය නිසා විදුලි බලය සැපයෙනු ඇත්තේ පැය කීපයකට පමණි. කාගේත් ඉවුම් පිහුම් දරවලින් කිරීමට සිදුවනු ඇත. අපනයන නතරවෙනු ඇත. සංචාරක ව්‍යාපාරය බිඳවැටෙනු ඇත. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් මට්ටමේ රටක තත්වයෙන් පහතට වැටෙනු ඇත.

ලෙබනනය අද වැටී ඇති තැන ගැන ලෝක බැංකුව අසාමාන්‍ය දැඩි වචනවලින් යුතු තක්සේරුවක් 2022 පෙබරවාරි මාසයේදී පළකළේය. ලෙබනනයේ අර්බුදයේ තීව්‍රතාව හේතුවෙන් එය ලොව ඉහළම අර්බුද දහයෙන් එකක් ලෙස හඳුන්වන ලදී. එය 1850 දශකයෙන් පසු ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික කඩාවැටීම් තුන අතරින් එකක් විය හැකි බව ප්‍රකාශ කරන ලදී. 2019 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 52ක් වූ ලෙබනනයේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වනවිට ඩොලර් බිලියන 21.8 දක්වා පහතවැටී තිබිණ. එය රටවල් 193ක ලැයිස්තුවේ ඉහළම සංකෝචනය විය. ජුලි මාසයේදී අවිධිමත් ණය පැහැරහැරීමක් සිදුකළොත් ශ්‍රී ලංකාවට ද ලෙබනනයට තරගයක් දිය හැකිවනු ඇත.

අර්බුදයෙන් ගොඩ ඒමේ මග

ඉහත පෙන්වා දුන්නේ ගම්මන්පිල – වීරවංශ යුගලය විසින් මගපෙන්වනු ලබන්නේ නියත විනාශයකට බවයි. රාජපක්ෂවරුන්ගෙන් නිදහස් වීමේ උවමනාව වැනි විවිධ හේතු නිසා ඒ මග අනුගමනය කිරීමේ වැළකිය යුතුය. අප විසඳුම් සෙවිය යුත්තේ වර්තමාන පාර්ලිමේන්තුව හරහාය.

පළමු සහ අත්‍යවශ්‍ය මූලික කොන්දේසිය වන්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් ආපසු හැරවීමයි. හැකිනම්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ද නිවැරදි කළ යුතුය. එහෙත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලද අධිකතර බලතල ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මෙම ක්‍රියාවලිය තුලින් ජනාධිපතිවරයාට දැනට ඉතිරිවී තිබෙන සුළු හෝ යුක්තියුක්තභාවය අහිමි වනු ඇත. මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස ශක්තිමත් වනු ඇත. ඔවුන් නීති සම්පාදනයේදී හුදු අත උස්සන සිග්නල් කණු බවට පමණක් පත්නොවනු ඇත. සුසිල් ප්‍රේමජයන්තයන් රාජ්‍ය ඇමති පදවියෙන් නෙරපාහැරීමෙන් පසු ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් එම තත්වයට පත්වී සිටින බවයි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළාගැනීමෙන් පසු ජනාධිපතිවරයාට තවදුරටත් ඔහු කැමති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කළ නොහැකි වනු ඇත. 2023 පෙබරවාරියෙන් පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අහිමි වනු ඇත. තනි කැමැත්ත මත ස්වාධීන කොමිෂන් සභාවල සිදුකරන ලද සදාචාර විරෝධී පත්කිරීම් අවලංගු කල හැක. ස්වාධීන මැතිවරණ, විධිමත් අල්ලස් චෝදනා විමර්ශන හා නඩු පැවරීම් ආදිය තහවුරු කළ හැකි අලුත් කොමසාරිස්වරුන් පත්කළ හැකි වනු ඇත.

පාර්ලිමේන්තුව තුළ 2015 සිට 2019 දක්වා සක්‍රියව තිබුණු පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා නැවත ක්‍රියාත්මක කළ හැකිය. විවිධ රාජ්‍ය නියෝජිතායතන ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් යටතට පත්කරන සැලැස්ම තවමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තිබේ. මෙම ව්‍යූහය ඔස්සේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විධිමත් ආකාරයෙන් රට ගොඩනැගීම සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව ලැබේ. අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් ඒකරාශී කර අන්තර්කාලීන ඇමති මණ්ඩලයක් පිහිටුවිය හැකිය. මෙය ශ්‍රී ලංකාවට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු තත්වයකි.

මේ වන විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකතුවේ සිට කරු ජයසූරිය මහතා නායකත්වය හොබවන සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය දක්වා විවිධ කණ්ඩායම් විසින් යෝජනා මාලා නවයක් ප්‍රසිද්ධ කර තිබේ. ඒ ලියවිලි පදනම් කර ගෙන පොදු අවම වැඩපිළිවෙලක් සඳහා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීම සඳහා සහායවන පාර්ලිමේන්තු පක්ෂ අතර සම්මුතියක් නිර්මාණය කරගත යුතුය.

අන්තර්කාලීන රජය විසින් රාජ්‍ය මූල්‍ය හිඟය සහ ජංගම ගිනුමේ හිඟය යන ද්විත්ව හිඟයන් විසින් නිර්මාණය කර තිබෙන තත්වයට පිළියම් ලෙස බැරෑරුම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යය. පොදු එකඟතාවය කලින් ලබා ගැනීම තුලින් බලයේ නොමැති පාර්ශ්ව විසින් සාමාන්‍යයෙන් කරන ආකාරයේ කුහක කඩාකප්පල් කිරීම් වලකා ගත හැක. මෙමගින් අපට ණයදුන් පාර්ශ්වවල විශ්වාසය ගොඩනැගෙනු ඇත. ණය අර්බුදයේ මූල හේතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අප තුළ බැරෑරුම් උනන්දුවක් තිබෙන බව ද යථා තත්වයට පත්වීමේ මාර්ගය වෙත අප යොමුවන බව ද ඔවුන්ට වැටහෙනු ඇත.

කළ යුතු බොහෝ දේ තිබේ. බාල ආවේගශීලීතවයන්ට යටවී මෙම අවස්ථාව අත්නොහැරියොත්, අපට තවමත් මේ රට බේරාගැනීමේ අවස්ථාවක් තිබේ.

මහාචාර්ය රොහාන් සමරජීව

Similar Posts