oil

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් පවතින සැබෑ තත්ත්වය සම්බන්ධව කළ පළමු ප්‍රකාශය මෙය විය හැක. මින් පෙර සිදු කළ සෑම ප්‍රකාශයකින්ම කිය වුනේ කිසිදු අර්බුදයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බවත්, ඔවුන් ඉතාමත් හොදට රට පාලනය කරමින් සිටින බවත්ය. හදිසියේ මෙපමණ ප්‍රමාණයකින් තෙල් මිල වැඩි කීරීමට සිදු වූ නිසා ආන්ඩුව තුළින්ම මතු වූ ව්‍යාකූලත්වය නිසාම ඔහුටත් මෙම ප්‍රකාශ කරන්නට සිදු විය.

පසුගිය කාලය තුළ වාහන හා වාහන අමතර කොටස් ආනයනය, ටයිල් ඇතුලු සෙරමික් භාණ්ඩ, ටයර්, තිරිගු කහ වැනි කුළුබඩු ඇතුලු විවිධ ගණයේ භාණ්ඩ රාශියක් ආනයනය සිදු කිරීම තහනම් කෙරිනි. ඒ අතරට පසුගිය දා කෘෂි රසායන හා කෘෂි පොහොර ආනයනය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව තුළ කාබනික ගොවිතැන දියුණු කිරීමට යැයි ප්‍රකාශ කරමිනි.  මේ සියල්ල තුළින්ම ආණ්ඩුව බලාපොරොත්තු වුයේ ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම විය.

නමුත්, ඉන්දන, ‌ෙඖෂධ, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම පමණක් සිදු කරගෙන ගිය වත්මන් ආණ්ඩුවට ඒ සදහාවත් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට නොහැකි වීම අද මේ අර්බුදයට හේතු වී තිබේ. මෙම අර්බුදය ගැන අවබෝධයෙන් සිටි බොහෝ දෙනෙකුට උදය ගම්මන්පිල ඊයේ කිව් කතාව මිට බොහෝ කාලයකට පෙර සිට අවබෝධ කර ගෙන තිබුනි.

මින් පෙනී යන්නේ අපට ඒදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවත් ලබා ගැනීමට හා ලබා ගත් ණය වෙනුවෙන් නිසි කලට නය වාරික ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයට අප අද වැටී ඇති බවයි. මෙම තත්ත්වය නිදහස ලැබීමෙන් පසුව අප මෙතෙක් මුහුණ දුන්  දරුනුතම කාල පරිච්ඡේදය ලෙස සැලකිය හැක.

දශක ගනනාවක සිට අපගේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන යන ක්ෂේත්‍රයන් හි පැවති දරුණු සෝදාපාලුව මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. බන්දුල ගුණවර්ධනගේ වචන වලින්ම කියන්නේ නම් සක්කරයගේ පුතා වයිමා ආවත්, අද මෙම අර්බුදයෙන් ලේසියෙන් ගොඩ ඒමට නොහැකි බව දැන් බොහෝ දෙනෙකුට තේරැම් ගොස් තිබේ.

මෙවැනි අර්බුදයකට මුහුණ දෙමින් සිටි අප වෙත පැමිණි කෝවිඩ් වසංගත තත්ත්වය අප නැවතත් කඹලෙන් ලිපට ඇද දමා තිබේ. ඇගලුම්, විදෙස්ගත ශ්‍රමිකයින්, සංචාරක, තේ හා කුළු බඩු අපනය වැනි ක්ෂේත්‍රයන්ගෙන් උපයා ගැණුනු ඩොලර් ප්‍රමාණය ද අද වන විට සැලකිය යුතු මට්ටමින් පහල ගොස් තිබේ. මේ අතර සැරින් සැරේ රට වසා දැමීමට හේතුවෙන් රාජ්‍ය ආදායම් සැලකිය යුතු මට්ටමකින් අඩුවීමත්, වසංගතයෙන් බේරිම සදහා හා පීඩාවට පත් මිනිසුන් ගේ සුභ සාධනය සදහා සැලකිය යුතු මුදලක් යෙදවීමට සිදුවීමත් නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

මේ අතර තවත් හෙන ගෙඩියක් ශ්‍රී ලංකාව වෙත පහත් වීමට නියමිතව ඇති බව පෙනේ. ඒ යුරෝපා සංගමය වෙත ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ 7200ක් සදහා ලබා දී තිබූ 12.5%ක බදු සහනය හෙවත් GSP+ සහනය අහෝසි කිරීම සදහා සලකා බැලිය යුතු බවට පසුගියදා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ඒරෙහි යෝජනාවක් ගෙන ඒමයි.

යුරෝපා සංගමය විසින් මෙම සහනය ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබුනේ, ශ්‍රී ලංකාව තුළ ඒක්සත් ජාතීන්ගේ කම්කරැ හා ළමා ප්‍රඥ්ඥප්තීන් මෙන්ම, වදහිංසාවට ඒරෙහිව ප්‍රඥ්ඥප්තිය බලාත්කම කරන බවට ගිවිසුම් ගත වීම නිසාය. මේ සම්බන්ධව යුරෝපා සංගමය විසින් සිදු කළ ඇගයීමක දී ඉහත ප්‍රඥ්ඥප්තීන් ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීම සම්බන්දව සෑහීමකට පත් නොවීම නිසා මෙම සහනය ලබා දීම 2014 වසරේ දී අත්හිටවනු ලැබීය. ඉන් පසුව 2015 දී බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධව දිගින් දිගටම කරුණු දැක්වීම හේතුවෙන් මෙම සහනය 2017 වසරේ දී නැවත ලබා ගැනීමට හැකි විය.

මෙම GSP+ සහන යෝජනා ක්‍රමය නිසා රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. එමගින් යුරෝපා සංගමයට කරන අපනයන මගින් ලැබෙන ආදායම යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත් වී තිබේ.

මේ සම්බන්ධව පාලකයින්ගේ අවධානය වහා යොමු නොවුනොත් මෙම සහනය නැවත අහෝසි වී යන අතර, ඒය නැවත ලබා ගැනීමට පවා අවුරැදු 1-2 අතර කාලයක් බලා සිටීමට සිදු වනු ඇත. මෙම තහනම ක්‍රියාත්මක වුවහොත් යුරෝපා සංගමය වෙත මාලු අපනයනය කිරීමට ද ඉන් බලපෑමක් සිදු වනු ඇත.

1948 සිට මේ දක්වා පත් වූ සෑම ආණ්ඩුවක්ම නිසියාකාර සැලැස්මකින් තොරව කටයුතු කිරීම නිසා අද මේ තත්ත්වයට අප මුහුණ දී ඇති අතර, ඒම ආණ්ඩුවල නොහැකියාවන් ගැන බොහෝ අත්දැකීම් තිබිය දී පවා ඔවුන් ම නැවත නැවතත් ආණ්ඩුකරනයට පත්කරමින් රට මේ තත්ත්වයට පත් කළ ඡන්ද දායකයින්ට ද අද රට පත්වී ඇති තත්වයට වගකිව යුතුය.

Similar Posts