ranil

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මම ලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන් ඒක අහන්න ඕනෑ / ඒක වෙනම කතාවක්) කොහොම වුණත් කවුරු මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ රටේ ජනාධිපති නැත්තං විධායකය. 21 කියලා එකක් ගෙනාවට ඒකේ ඇති දෙයක් නෑ. ඒනිසා අයෝමය බලයක් තියෙන අභිමතයට අනුව රිසි සේ ක්‍රියාත්මක වෙන්න පුලුවන් විධායක ජනාධිපති ඔහු. ඒනිසා ඔහුට පාරේ මේ පැත්තෙන් යන්න. පාරේ යනකොට ලයිසම අරං යන්න වගේ දේවල් කියන්න විතරක් නෙවෙයි ඒවා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරවන්නත් පුලුවන්. මෙන්න මේ චිත්‍රය අස්සේ මට හිතුනා අවුරුදු 50ක් සම්පූර්ණ කළ මේ නීතීඥයාගෙන් මෙන්න මේ ටික අහන්න.

මේ ප්‍රශ්න ටික මම අහන්නේ නීතියේ ආධිපත්‍යය මේ රටේ ස්ථාපනය කරන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බෑ කියන ස්ථාවරයේ ඉන්න මිනිහෙක් විදිහට. වංචාව දූෂණය අවසන් කරන්නේ නැතුව විදෙස් සංචිත මල්ල බර කරන්න පුලුවන් කියලා කවුරුහරි හිතනවානම් ඒක මරිමෝඩ චින්තනයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

මගේ ප්‍රශ්නාවලිය

1/ තමන්ගේ අතිජාත මිත්‍රයා ලසන්ත වික්‍රමතුංග ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කොතරම් දුරකට කැපවෙන්න සූදානම් ද?

(ඔහුට රාජ්‍ය නායකයා සේනාධිනායකයා විදිහට මේ ක්‍රියාවලියට පොලීසියට අණ දෙන්න පුලුවන් නැවත මේ පරීක්ෂණ ආරම්භ කරන්න. ඊළඟට ඔහුට පුලුවන් තවමත් නිසියාකාරව සහාය නොදුන් යුද්ධ හමුදාවට සහ එහි බුද්ධි අංශයට උපදෙස් සහ නියෝග නිකුත් කරන්න පොලීසිය ඉල්ලන සියලු තොරතුරු ලබාදෙන්න කියලා)

2. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ නැවත සක්‍රීය කරන්න පුලුවන්. (දැනට මේ පරීක්ෂණ අවසන් වෙලා අධිචෝදනා ගොනුකළත් හමුදාවේ සහාය නැති නිසා එය නිසි ඉලක්කයට ගියා කියලා හිතන්න බෑ )

3. මහින්ද රාජපක්ෂ පවුල කෙළින්ම සම්බන්ධ ඝාතනයක් වෙන වසීම් තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ සක්‍රීය කරන්න ජනාධිපති වික්‍රමසිංහ ට මේ විදිහටම උපදෙස් දෙන්න පුලුවන්. එහෙම උපදෙස් දීලා එදා අරලියගහා මන්දිරය සහ ඝාතකයෝ අතර සිද්ධවුණ දූරකථන සංවාදයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය ආයතනවලට නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහට පුලුවන්.

4. තමන්ගේ වයෝවෘද්ධ අතිජාත මිත්‍රයා මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්න කොටි සංවිධානය සමග එකතුවෙලා කුමන්ත්‍රණය කරපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගැන සීඅයිඩීය කරපු පරීක්ෂණය නැවත සක්‍රීය කරන්න නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහ ට පුලුවන්. එහෙම කරලා තමන්ගේ මිත්‍රයා මහින්ද රාජපක්ෂට යුක්තිය ඉටුකරන්න අවශ්‍ය නියෝග දෙන්න ජනාධිපති වික්‍රමසිංහ ට දැන් ඕනෑවටත් වඩා බලය තිබෙනවා.

5. මෙහෙම පරීක්ෂණ සහ නීතියේ පාලනය ස්ථාපනය කරන්න නියෝග උපදෙස් දෙන ගමන් ඕනෑනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුලුවන් තමන්ට 2005 ජනාධිපති වෙන්න ඉඩ නොදුන් ඒ වෙනුවෙන් කොටි සංවිධානය සමග කුමන්ත්‍රණය කළේ කවුද? උතුරේ ඡන්ද වර්ජනයකට සැළසුම් කළේ කොහොමද ? ඒක ක්‍රියාත්මක කළේ කොහොමද ? කියලා අලුතින්ම පරීක්ෂණයක් කරන්න. එහෙමත් නැත්තං රාඩා ගනුදෙනු නමින් පහුගිය කාලේ සීඅයිඩී ය කළ පරීක්ෂණයම නැවත සක්‍රීය කරන්න සීඅයිඩීයට උපදෙස් දීලා තමන්ටම යුක්තිය ඉටුකරගන්න ජනාධිපති වික්‍රමසිංහට පුලුවන්

ඉතිං මම අහන්නේ වර්තමාන ජනාධිපති වගේම නීතීඥ වෘත්තියේ වසර 50ක් සම්පූර්ණ කළ මේ මිනිසාගේ විධායක ජනාධිපති විදිහට මෙන්න මේ ටික කරන්න ඔබට පුලුවන් ද?
මම මේ ප්‍රශ්න ටික ඇහුවාම ජනාධිපතිවරයා සමග ඉන්න අපේ මිත්‍රයන් මගෙන් මෙහෙම අහන්න පුලුවන් – රනිල් වික්‍රමසිංහ කවදාවත් පොලීසියේ වැඩවළට අත දැම්මේ නෑ. දාන්නෙත් නෑ. ඔය වැඩ කරන්න ඕනී ජනාධිපති නෙවෙයි පොලීසිය – මෙහෙම කියන මගේ මිත්‍රයන්ට මම මෙහෙම කියන්න කැමතියි – බැඳුම්කර සිදුවීම ගැන පරීක්ෂණ යනකොට සුජීව සේමසිංහට මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් චෙක්පත් දෙකක් ගැන තොරතුරු අනාවරණය වෙනවා. මේ චෙක්පත් ගැන පරීක්ෂණ ඉස්සරහට යනකොට රනිල් වික්‍රමසිංහ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහා එවක සීඅයිඩියේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට අරලියගහා මන්දිරයට එන්න කියලා, මේ පරීක්ෂණය වහාම නතර කරන්න කියලා උපදෙස් දෙනවා විතරක් නෙවෙයි ශානි අබේසේකර ඒකට විරුද්ධ වුණාම බූරුවා කියලා බැනලා එලවාගන්නවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඕනෑ නම් මේ දේවල් කරන්න අමාරු නෑ. ඒ සඳහා ඔහුට ශක්තිය මේ ව්‍යවස්ථාව ඕනෑවටත් වඩා දීලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ ට මේ රට දියුණු කරන්න මේ රට පළමු ලෝකයේ රටක් කරන්න හීනයක් තියෙනවා නම් ඔහුට ඒ සඳහා වැඩ පටන් ගන්න තියෙන්නෙත් මෙතනින්. මේ පාර හැර ඒ සඳහා වෙනත් පාරක් නෑ.

කේ. සංජීව

More Stories