මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

අපට ඕනෑ තරම් නීති, දඬුවම් හඳුන්වා දිය හැකිය. නමුත් දඬුවම් හා නීති යනු රටක තියෙන අපරාධ ,හිංසනය අඩු වීමට තරම් බලපෑම් කරනු ලබන එකම ක්‍රමවේදය කියා සිතයි.

ඒ නිසාම මේ ගැටලුවට අප දෙන අතර රටේ අපරාධ හා හිංසනයේ අඩුවක් දකින්නට ලැබෙන්නේ නැත. මේ රටේ පොලිසියෙන් සිදුවන වධහිංසාව දෙස බැලුවහොත් ප්‍රධානතම දේ වන්නේ මිනිසුන්, පොලිසිය හා අධිකරණය තවමත් විශ්වාස කරනු ලබන්නේ වධහිංසාවක් කිරීම තුලින් සත්‍ය තොරතුරක් ලබා ගත හැකි බවය.

එය අපේ රටේ ජනතාවගේ පවා සිත් තුල කිඳා බැස ඇති ශෝකාන්ත යථාර්ථයකි. මෙය පැමිණෙන්නේ පැරණි ග්‍රෝතික, වැඩවසම් මානසිකත්වය තුලිනි. නමුත් ලෝකයේ කොතනකවත් අපරාධ විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකවත් පර්යේෂණ හරහා වධහිංසාව ලබා දීම තුලින් සත්‍ය තොරතුරු ගත හැකි බවට අනාවරණය වී නැත.

ඔප්පු වී ඇත්තේ වෙනස් කරුණකි. මා සිනමාකරුවෙකු ලෙස , වසර ගණනාවක් අධිකරණයේ සේවය කළ පුද්ගලයෙකු ලෙස සේවය කර ඇත්තෙමි.

එමෙන්ම මාගේ ආචාර උපාධිය සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ පාපොච්චාරණ සටහන් කර ගැනීම් පිලිබඳ පර්යේෂයක් කර ඇත්තෙමි.

එලෙස සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් වු විසි අට දෙනෙකු පමණ පර්යේෂණය සඳහා සම්මුඛ සාකච්ඡාවට භාජනය කළෙමි. ඊට අමතරව ලංකාවේ මේ ආකාරයෙන් නොයෙක් පර්යේෂණ කරන නීතිඥවරු, වෛද්‍යවරු ඇතුලු බොහෝ දෙනෙකු සමඟ සාකච්ඡා කළෙමි.

ඒ අනුව මා සොයා ගත් දේ වන්නේ පහරදීම ,පොලිස් වධහිංසාව හරහා කිසිම ආකාරයකින් කිසිදු සත්‍යයක් සොයා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවය. මේ මානසිකත්වය අපට ඇති බරපතල පිලිලයකි. මෙය අධිකරණය පවා විශ්වාස කරන්නකි. මේ පදනමකින් තොරව ඇති විශ්වාසයෙන් අප එළියට පැමිණිය යුතුය. වධහිංසනය තුරන් කීරීමට අප මුලින්ම කළ යුතු දේ වන්නේ එයය.

කම්කරු වධහිංසනය

අපේ රටේ ජනතාව වධහිංසනය යනු කුමක්දැයි තවමත් වටහා ගෙන නැති බව මා සිතමි. එමෙන්ම දියුණු රටවල වැඩ කරන ආයතන තුල සිදුවන හිංසනයන්ට නීති පනවා තිබේ. නමුත් අප රටට වධහිංසාව නිර්වචනය කළ හැකි තත්ත්වයකුත් නැත. හැරස්මනට් යන වචනයට පවා සිංහල අරුතක් නැත. එහෙත් මෙන රටක මෙවන් දෙයක් සිදුවුවා නම් ඊට ක්‍රියාත්මක වන නීති තිබේ.

යම් පුද්ගලයෙක් වර්ගයකට, සුලුතරයකට අයත් වීම, සමහර වේලාවට කාන්තාවක් වීම, ගැබ් ගෙන සිටීම, ආබාධිත පුද්ගලයෙකු වීම යන කරුණු නිසා අනිසි ලෙස සලකනු ලබන්නේ නම් එය බුලින් හැරස්මනට් යන නිර්චනයට ඇතුලත් වේ. නමුත් අප කොතරම් පසුගාමීද යන්න සිතෙන්නේ මීට වචනයක්වත් අපට නැති නිසාය.

වධහිංසාවෙන් පීඩා විඳින විශාල පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන්ට මෙය විස්තර කිරීමටවත් අවබෝධයක් නොමැත. ඔවුන් සිතන්නේ වැඩපලක සිටිනවානම් , තවත් පුද්ගලයෙකු යටතේ සිටිනවානම් ඒවා විඳගෙන සිටිය යුතු බවය.

මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. ලංකාවේ සියලුම කම්කරුවන් ඇතුලු සියලු දෙනාටම වධහිංසාව, සම සමානාත්වතාවය, සාධාරණත්වය පිලිබඳ තහවුරු කරන ආකාරයට වැඩ කළ හැකි නීති අප සම්පාදනය කළ යුතුව ඇත.

ඒ වගේම ඔවුන්ව ආරක්ෂා කරන්න, ඒවා ක්‍රියාත්මක කරන්න මානව හිමිකම් කොමිසමට තොරතුරු ලබා දිය යුතුය. මෙය පාසලට වගේම නිවසටත් අදාල වේ. නිවසේදි කාන්තාවන්ට, දරුවන්ට, මහලු අයට වැඩි වශයෙන් සිදු වේ.

මේ වින්දිතයන්ට ආරක්ෂාවක් ලබා දෙන්න ප්‍රමාණවත් තරම් නීති නැතුවා මෙන්ම අයතනික ව්‍යුහයක් නැත. උදව් කරන ආයතන නැත. කරන පැමිණිලි විධිමත්ව පැමිණිලි කීරීමේ ක්‍රමයක් නැත. එමෙන්ම මේ රටේ බෞද්ධ යැයි කියා ගන්නා ජනතාව මෙය වැරදි බව වටහාගෙන ඊට එරෙහිව හඬක් නගන්නේ නැත.

ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය

ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය ගතහොත් එම සම්මුතියේ ඇති පුලුල් දේ අතහැර ඉතාමත් පටු විදිහට අර්ථ නිරූපණය වන ආකාරයට ලංකාවේ නීතිය හඳුන්වා දී තිබේ. මෙය යුරෝපීය සහ උතුරු ඇමරිකාවෙන් බේරීමට කල ගැටයකි. මෙහි බරපතල වැරුද්දක් සිද්ධ වේ. අපට බලපෑම් කරනු ලබන ජාත්‍යන්තර ප්‍රජාව නිසි ලෙස බලා නොමැති බව මා සිතමි.

එමෙන්ම ලංකාවේ සිටින ක්‍රියාකාරීන්, නීතිවේදීන්, මේ සම්බන්ධ උනන්දු වන පුද්ගලයින් සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් සලකා බලා නොමැත. මේ නීතිය අපව පුදුමයට පත් කරමින් කලාකරුවන් වැනි අයට එරෙහිව ,ඔවුන්ව පීඩාවට පත් වන විට මොනවාද වන්නේ කියා අවබෝධ විය. මේ වරද අප නිවැරදි කර ගත යුතුය.

මෙම පනතේ ඇති හරයාත්මක අගයන් ප්‍රතිනිර්වචනය කරමින් අපගේ නීතිය සංශෝධනය කළ යුතුව ඇත. එමෙන්ම මේ පිලිබඳ මහජන මතයක් ගොඩනැඝිය යුතය.

ජාත්‍යන්තර සම්මුතීන් වලට අත්සන් තැබුවාට මේ සම්බන්ධයෙන් දේශිය ආකාරයේ සාකච්ඡාවක් වන්නේ නැත. එය ඇතැම් විට සහනාධාරයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා එය කඩිමුඩියේ සිදු කරනු ලබයි. මානව හිමිකම් පිලිබඳ ජනතාවගේ ආකල්ප සහ සිසිල් සහ දේශපාලන අයීතීන් කියන්නේ මොනවාද? යන්න දැනුවත් විය යුතුය.

එමෙන්ම මේ රටේ ගුරුවරුන්ටද වගකීමක් ඇත. ඒ මේ පිලිබඳ අධ්‍යාපනයක් ලබාගෙන ප්‍රගතිශිලි ලෙස හඳුනාගෙන දරුවන්ට අවබෝධ කර දීමය. අදටත් මේවා අපගේ විෂය නිර්දේශ වල තිබුණාට ඒවාට ඇවැසි වටිනාකමක් ලැබෙන්නේ නැත. එසේ වටිනාකමක් ලැබුණේ නම් අද මෙවන් තත්ත්වයක් පවතින්නේ නැත.

අද මා හට ශ්‍රේෂ්ඨාධිකරණය පිලිබඳ විශ්වාසයක් පවතියි. ලංකාවේ අධිකරණයක් මොන තීන්දුවක් ප්‍රකාශයට පත් කළද ඊට මිනිසුන්ගේ මතයත් බලපානු ලබන බව මා විශ්වාස කරමි. පොලිසිය, අධිකරණය, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව ආදී මේ හැමදෙයකින්ම නිරූපණය වන්නේ ලංකාවේ සිටින ජනතාවගේ හරස්කඩවල්ය.

සමසාධාරණත්වයක් ඇති ආකාරයට නීතිය අර්ථ නිරූපණය කරන්න කියා ජනතාවට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිනම් අධිකරණය එතනට යනු ඇත. නමුත් අප සිටින්නේ ඉතාමත් පසුගාමී, අර්ධ ප්‍රගතිශිලි, අර්ධ ප්‍රජාතන්ත්‍රවාදීය වැඩවසම් ක්‍රමයක් තුලය. එහෙයින් අපට මේ ක්‍රමය තුල ලොකු දෙයක් කිරීමේ හැකියාවක් නොමැත.

මරණ දඬුවම

මොන වැරැද්දක් කලද, වරැද්දකට දඬුවම් ලබා සිටියත් ,මොන තරම් සාක්ෂි තිබුණත් මම මරණ දඬුවමට විරුද්ධය. දඬුවම් කිරීම අවශ්‍ය බව මා පිළිගනිමි. නමුත් දඬුවම කියන දෙයට අපි වෙනත් ප්‍රවේශයක් ලබා දිය යුතුය. මීට ලබා දෙන්නේ ඉතාම පැරණි අර්ථ නිරූපණයකි. මරණ දඬුවම රජයක් විසින් එක් පුද්ගලයෙකුගෙන් කරන පළිගැනීමක් ලෙස මෙය මා දකිමි.

මේ පළිගැුනීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? මරණ දඬුවමක් හරහා අපරාධයක් මර්ධනය කළ නොහැකිය. මේ වන විට ලෝකයේ සිටින නොයෙක් අපරාධ විද්‍යාඥයින්, නීතිවේදින් වසර ගණන් පර්යේෂන කර සොයා ගෙන ඇති කරුණ වන්නේ මරණ දණ්ඩනය සහ අපරාධ මර්ධනය අතර කිසිදු සම්බන්ධයක් නැති බවය. මරණ දඬුවම ඇති රටවල අපරාධ අඩුවීමක් නොමැත. සිදුව ඇත්තේ වැඩිවීමකි. අප සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වන සිවිල් පුද්ගලයින්ය.

අපට අවශ්‍ය වන්නේ ශිෂ්ඨ සම්පන්න සමාජයකි. එවන් සමාජයක මරණ දඬුවමක් පිලිගත නොහැකිය.

අප දඬුවම දෙස මීට වඩා අලුත් විදිහකට බලා පුනරුත්තාපනය කිරීම, සිරකරුවන් නැවත සමාජගත කිරීම ආදිය වෙත සිත යොමු කළ යුතුය.

More Stories