රටපුරා රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් නැවත වැඩට කැඳවනු ලබන්නේ දැඩි පොලිස් හා මිලිටරි සෝදිසි මධ්‍යයේය. වසංගත තත්ත්වය සාමාන්‍යකරනයට ලක්කරමින් එය සමග ජීවත් වෙමින් වැඩ කිරිමට බලකරන ආන්ඩුව, රෝගයට ගොදුරු නොවී සිටීමේ වගකීම මහජනයා පිට පටවා තිබෙන්නේ කිසිදු විධිමත් සෞඛ්‍ය ආරක්ෂන වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමකින් තොරව ය. සිදු කෙරෙන අවම පරීක්ෂන ප්‍රමානය යටතේ වුවද, ආසාදිතයන් සොයාගැනීමේ සීග්‍රතාවය පසුගිය සති දෙක තුල ඉහල ගොස් ඇති තතු තුල ජන ජීවිතය ආරම්භ කිරීමට හැකි කිසිදු විද්‍යාත්මක පසුබිමක් නැති බවට වසංගත රෝග විද්‍යාඥයන් ගනනාවක් අනතුරු අඟවා තිබේ. කෙසේ නමුත්, මැයි 01 දා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක් හරහා නියෝග කර ඇත්තේ “දෛනික ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරීත්වය” ආරම්භ කල යුතු බවයි. ඒ අනුව, “අත්‍යාවශ්‍ය සේවා” පවත්වා ගැනීම ඇතුලු ජනජීවිතය සහ ආර්ථිකය “යථා තත්ත්වයට පත් කිරීම” පිනිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
නව නියෝගය අප්‍රේල් 25 නිකුත් කර ඇති නියෝගයේ කොන්දේසි අදාල කරගනී. ඒ අනුව පාරිභෝගික ද්‍රව්‍ය වෙලඳ ස්ථාන සහ රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර හා සේවා ස්ථාන විවෘත කල හැකිය. සේවා මුර ක්‍රමයට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න තීරනය කිරීමේ පූර්න අභිමතය ආයතන ප්‍රධානියා සතුය. රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුලු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් හෝ අවම ගනනකි. සෙසු සේවකයන් නිවසේ සිට රාජකාරිවල නියැලිය යුතුය. පුද්ගලික ආයතනවල මෙවන් සීමාවක් නිශ්චිතව පනවා නැත්තේ ආයතන අයිතිකරුවන්ට තමන්ට අවශ්‍ය පරිදි සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමේ නිදහස ලබාදීම සඳහාය.
සේවා ස්ථානවලට ගමන්කිරීම හැර “ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිනීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම” නොකල යුතුය. එනම් වෙනත් සියලු මහජන ඒකරාශී වීම් ඇඳිරිනීතිය කඩකිරීම හෝ නිරෝධායන නීති යටතේ පුද්ගලයන් අත්අඩංගුවට පත්කෙරෙන අවස්ථා ලෙස ක්‍රියාත්මක වෙනු ඇත. මාර්ගයේ හා ආයතනවල සමාජ දුරස්ථභාවය, මුඛ ආවරන පැලඳීම ආදී “නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත,” යනුවෙන් නියෝගයේ සඳහන්ය. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ “ප්‍රදේශය යුද කාලයේ තිබුනා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව” පාලනය කිරීම සඳහා පොලීසිය හා මිලිටරිය යොදනබවට ජනාධිපති රාජපක්ෂ අප්‍රේල් 20 දා කල ප්‍රකාශය මෙම නියෝගයෙන් ක්‍රියාවට නංවා ඇත. එනම් කම්කරුවන් වැඩට යොදවනු ඇත්තේ දැඩි හමුදා සුපරීක්ෂනය මධ්‍යයේය. මෙහි අර්ථය නම් කිසියම්ම හෝ කම්කරු විරෝධයක් වර්ධනය වීම මුල් අවස්ථාවේදීම භංග කිරීම සඳහා මිලිටරිය යොදාගනු ඇති බවය.
මීට පෙර, මැයි 04 සිට මෙම නව විවෘත කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් කෙරී තිබුනු නමුදු පසුව එය කල් තැබිනි. එහි කොන්දේසි දක්වමින් අප්‍රේල් 25 නිකුත් කල නියෝගයේ කම්කරු පීඩිත මහජනතාව “සියලු අපහසුතා” ඉවසා සිටිය යුතු අතර “සමාජයේ යහපතට” බාධාවන අයුරින් කටයුතු කරන අයට පවතින නීතිය යටතේ “උපරිම දඬුවම්” පමුනුවනු ලබන බවට අනතුරු අඟවා තිබුනි. ආන්ඩුව සඳහන් කරන “සමාජයේ යහපත” යන්නෙහි මූලික අර්ථය නම් වසංගතය මධ්‍යයේ ලෝක ආර්ථික හා මූල්‍ය අවපාත තත්ත්වයන් යටතේ බරපතල අර්බුදයකට ලක් වී ඇති ධනපති ආර්ථිකය ප්‍රකෘති කිරීම හැර අන් කිසිවක් නොවේ. ජනාධිපති කියා සිටින්නේ එම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා කම්කරු මහජනතාව සාමකාමීව තම ජීවිත පූජා කිරීමට සූදානම් වියයුතු බවයි. කිසිදු විද්‍යාත්මක සහ විධිමත් සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහනක් ක්‍රියාවට දමා නැති අතර, දුම්රිය හා බස්රථ හරහා දස දහස් ගනනින් සේවයට පැමිනෙන කාර්යාල හා කර්මාන්ත කම්කරුවන් ප්‍රවාහනයේදීත්, වැඩභූමි තුලත් වසංගතයට ගොදුරුවීමේ කොන්දේසි වලට යටත් කෙරී ඇත.
කම්කරුවන් වැඩට පැමිනෙන්නේ තමන් රෝගීවෙමින්, තම නිවෙස්වල දරුවන් හා වැඩිහිටියන් ඇතුලු ආදරනීයයන් වසංගතයට ගොදුරු කිරීමේ රෝග වාහකයන් වීමේ භීතියද සමඟිනි. අප්‍රේල් 20 සිට රටේ සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය දිවා කාලයේ බල නොපැවැත්වෙන බැවින් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් ට දෛනික ආර්ථික කටයුතුවල සාමාන්‍ය පරිදි යෙදීමට බලකෙරී ඇත. රටපුරා නිදහස් වෙලඳ හා ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතුලු කර්මාන්ත ශාලාවල කම්කරුවන් මෙලෙස වැඩට කැඳවනු ලැබිනි. මෙම විධායක නියෝග රටේ කම්කරු පන්තිය දශක ගනනාවක් අරගල හරහා දිනාගත් සීමිත අයිතීන් පිලිබඳ නීති අවඥා සහගත ලෙස බැහැර කරයි. රට මෙලෙස වැඩ සඳහා විවෘත කිරීම, අගුලු දැමීමේ කොන්දේසි නිසා තම ලාභ සිඳීයාම පිලිබඳ ධනපති ව්‍යපාරිකයන් හා හාම්පුතුන් ගේ කන්නලව් වලට රාජපක්ෂ ආන්ඩුවේ සෘජු ප්‍රතිචාරය යි. ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක්ලින් අමරසිංහ විසින් “හදිසි ආයාචනයක්” යන හිසින් ජනාධිපති වෙත යොමුකල ලිපියක් අප්‍රේල් 17 දා ඩේලිඑෆ්ටී පුවත්පතේ ද, පසුව ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ (ලංහාස) වෙබ් අඩවියේද පලකොට තිබුනි. අමරසිංහ එම ලිපියෙන් ධනපති හාම්පුතුන් සඳහා වරප්‍රසාද ඉල්ලා සිටී.
කම්කරු අමාත්‍යංශය, හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තීය සමිති අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවය මගින් රට යලි විවෘත කිරීමේ සැබෑ අන්තර්ගතය එලිමහනට පැමිනේ. එකඟතාව අනුව කම්කරුවන්ගේ වැටුප් භාගයකින් කපා හැර මුර ක්‍රමයට සේවයේ යොදවා ගැනෙන අතර අවම වැටුව රුපියල් 14,500 ක් දක්වා කප්පාදු කෙරේ. රැකියා වලින් දොට්ට දැමීම් නොකෙරෙන බවට මෙම ත්‍රෛපාර්ශ්වය එකඟ වී ඇතත් සේවයෙන් පහකිරිම් දැනටමත් සිදුකෙරෙමින් පවතී. සොෆ්ට්ලොජික් හා ජෝන්කීල්ස් සංගත ද, ඇඟලුම් කම්හල් හිමියන්ද, අවුරුදු 50 වඩා වයසැති කම්කරුවන් දොට්ට දැමීම, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් මාස හයකට නොගෙවීම සහ අතිකාල දීමනා අත්හිටුවීම ආදී කප්පාදු නිවේදනය කර ඇත. පහලයන ලාභ රේට්ටු යථාවත් කිරීම සඳහා කර්මාන්ත තුල මෙසේ යොදවන අවම ශ්‍රමිකයන් දැඩි සූරාකෑමට ලක්කිරීමට නියමිතය. අයවැය පරතරය දල දේශීය නිෂ්පාදනයෙන් 7.9% දක්වා ඉහල ගොස් ඩොලර් බිලියන 55.9 ක දැවැන්ත නය කන්දරාවක් ගෙවීමට නියමිත තතු යටතේ සමාජ සුභසාධන සේවාවන් හා රාජ්‍ය අංශයේ වැටුප් දැවැන්ත කප්පාදුවකට යටත් කෙරෙනු ඇත.
වසංගතයට අදාල සෞඛ්‍ය සේවාවන් ඉහල නැංවීම සඳහා ආන්ඩුව කිසිදු අමතර මුදලක් වෙන්කර නැති අතර ව්‍යාපාර හා බැංකු ගලවා ගැනීම සඳහා මහ බැංකුව රුපියල් බිලියන 50ක මුදල් පොම්ප කර ඇත්තේ පොලී අනුපාත සහන ද ලබා දෙමිනි. කොරෝනා මැඩීමේ මුවාවෙන් තීව්‍ර කෙරී ඇති ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට හා නැවත වැඩට කැඳවීමේ සැලැස්මට ඊනියා විරුද්ධ පක්ෂ සෑම එකක්ම සෘජුව හෝ වක්‍රව සහාය පලකර තිබේ. කම්කරු ජීවිත මරනයේ අන්තරාය වෙත ඇද දමමින් ඔවුන් දරිද්‍රතාවයේ පතුලටම හා බරපතල සූරාකෑමට තල්ලු කිරීම සඳහා පාලක පන්තිය පිඹුරුපත් සකසා ඇත්තේ වෘත්තීය සමිතිවලද සහාය සහිතවය.
හිරෝෂන් ප්‍රනාන්දු