derana news today

දිළින්දන්ට අස්වැසුම ලැබිණි. සියලු දිළින්දන්ට නොලැබුණත්, ඔවුන්ගෙන් කොටසකට ලැබිණි. කිසිදු සහනාධාර ක්‍රමයකින් ආවරණය කරන්නට බැරි තරම් ලංකාවේ දිළිඳුකම සුවිසල්ය. ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම ඒක පුද්ගල වියදම සපයා ගත නොහැකි අයයි.
LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් පෙන්නුම් කළ පරිදි, ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 70ක් මේ වන විට දරිද්‍රතාවෙන් පීඩා විඳිමින් ජීවත් වෙති. මෙම පිරිස පවුල් ලක්ෂ 20කට අයත් වෙති. ගෘහ ඒකක සංඛ්‍යාව ලක්ෂ 16කි.

මෙම පවුල් ලක්ෂ 20 පමණක් නොව, වකුගඩු රෝග ඇති අයට, ආබාධිත අයට සහ වැඩිහිටි අයට ද සහනාධාර ලබාදීමට රජය ඉලක්ක කළේය. එහෙත්, මූලික ගැටලුව වූයේ සහනාධාර අත්‍යවශ්‍ය අය හඳුනාගැනීමයි. මීට පෙර පැවති සමෘද්ධි සහනාධාර ලබාදුන් ලැයිස්තුව නිවැරදි ලැයිස්තුවක් යයි කිසිවකු විශ්වාස කරන්නේ නැති තරම්ය.
සමෘද්ධි සහනාධාර බෙදාදීම සිදුකළ සමෘද්ධි නිලධාරීන් අයත් සමෘද්ධි අධිකාරිය වෙනුවෙන් සමෘද්ධිය සඳහා වෙන් කරන ලද මුදලින් 25%ක් වැය විය. මෙම සමෘද්ධි නිලධාරීන්ට සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගැනීමෙහිලා තිබුණු අභිමතය හේතුවෙන් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව අධික ලෙස දේශපාලනයට හා නිලධාරිවාදයට යට විය. එම ලැයිස්තුව පිරිපහදු කරගත යුතුව තිබිණි.

යහපාලන රජය යටතේ ද 2019දී 433,500ක් පමණ අලුත් සමෘද්ධිලාභීන් ලැයිස්තුවට එකතු වී එය ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවක් බවට පත් වූයේ එසේය. දිළිඳු සහනාධාර සම්බන්ධයෙන් සිදුවිය යුත්තේ දිළිඳු ජනයා නගාසිටුවීම සඳහා සහනාධාර යොදාගැනීමයි. එසේ නොමැතිව එන්න එන්නම රජයෙන් යැපෙන දිළින්දන් ගණන වැඩි වීම නොවේ. 2005 වන විට ලක්ෂ 20කට සමෘද්ධිය ලැබුණු අතර 2020 වන විට එය අඩු වී තිබුණේ ලක්ෂ 18 දක්වා පමණි.
2002 අංක 24 දරණ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල පනතෙහි ප්‍රධාන අරමුණ වූයේ දිළිඳු සහනාධාර ක්‍රම අත්‍යවශ්‍ය අයට පමණක් නිවැරදිව ඉලක්ක කර ලබාදීමයි. රජය ඒ වෙනුවෙන් සමීක්ෂණයක් පවත්වන ලදි. මාන හයක් ඔස්සේ නිර්ණායක 22ක් අනුව මෙම තෝරාගැනීමේ සමීක්ෂණය පැවැත්විණි.

එම සමීක්ෂණය පවත්වන ආකාරය පිළිබඳ විස්තර 2019 අප්‍රේල් 5 ගැසට් නිවේදනයෙහි දැක්වේ. එහිදී පදනම් කරගෙන තිබෙන්නේ පවුල් ඒකක මිස ගෘහ ඒකක නොවේ. එක ගෙදරක පවුල් කීපයක් ජවත් වේ නම්, එහිදී පදනම් කරගෙන තිබෙන්නේ පවුල් මිස ගෘහය නොවේ. බොහෝ අය පටලවා ගන්නා කරුණක් වන්නේ එයයි. ඇතැම් විට, ගෙදර සිටින දරුවන් හා මව්පියන් වෙනම පවුල් ඒකක දෙකක් නම්, දරුවන්ට යාන වාහන තිබුණත්, මව්පියන්ට ආදායම් නොමැති නම්, ඔවුන්ට අස්වැසුම ලැබිය හැකිය. මෙය කවදත් තිබුණු තත්වයකි. එසේම, එහි ගැටලු ද තිබිය හැකිය. එහෙත්, නීතිමය වශයෙන් ගත් කල එක ගෙදරක සිටි පළියට සියලු දෙනා එක් පවුල් ඒකකයක් තුළට ඇතුළත් කළ නොහැකිය.

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ 2022 ජුලි මාසයේ සිට ලබාදීමට නියමිතව තිබිණි. එහෙත්, උද්ඝෝෂණ, අභියාචනා හා විරෝධතා හේතුවෙන් එය ප්‍රමාද විය. අභියාචනා ලක්ෂ දහයකට වැඩි සංඛ්‍යාවක් හා විරෝධතා ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. ඒවා විභාග කිරීම ඇතුළු සියලු ක්‍රියාවලි සිදුවන්නේ සුපුරුදු රාජ්‍ය අකාර්යක්ෂමතාව තුළයි. එහෙත්, මෙම සටහන තබන මොහොත වන විට ප්‍රවෘත්තිවල විකාශය වන්නේ අස්වැසුම ලැබුණු දිළින්දන්ගේ සතුටු මුහුණු දැක්වෙන රූප රාමුය. ඔවුන්ගේ ගිනුමට මුදල් ලැබී ඇත. ඔවුන්ට මුදල් ලබාදීම සඳහා රාජ්‍ය බැංකු පෝය දිනයේ ද විවෘත කර තිබිණි. බැංකු ගිනුම් ගැන අවබෝධයක් නොමැති දිළිඳු ජනගහනයක් ද මේ අතර සිටිති. ඔවුන්ගේ ගැටලු විසඳා දීමට සමාජය උපකාර කළ යුතුය.

කලින් පැවති සමෘද්ධි සුබසාධන ප්‍රතිලාභ ලැබුණු පවුල් 1,280,000කට අධික පිරිසක් අස්වැසුම සඳහා ඉල්ලුම් කර තිබුණු අතර ඉන් 887,653ක් අස්වැසුම සඳහා සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි. අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වන තුරු සමෘද්ධිය ලැබුණු ඉතිරි පවුල් 393,094ක් සඳහා කලින් ගෙවූ සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට මේ මස මුලදී අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ආබාධිත, වකුගඩු රෝග, වැඩිහිටි දීමනා පැරණි ලේඛනය අනුවම ලබාදෙයි.

කෙසේ වෙතත්, අභියාචනා දසලක්ෂයම විභාග කර ඔවුන්ට අස්වැසුම ලබාදුන්නත් පවුල් ලක්ෂ 20ක් ආවරණය වන්නේ නැති බව පෙනේ. එයින් අදහස් වන්නේ උපකාර අත්‍යවශ්‍ය තවත් විශාල පිරිසක් මගහැරී ඇති බවයි. ඔවුන් තවදුරටත් හඳුනාගැනීමේ සමීක්ෂණ සිදු කළ යුතුය. දැනට ඒවා කල්ගොසිනි.

කුමන අඩුපාඩු තිබුණත්, අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයකි. දේශපාලනීකරණයෙන් හා නිලධාරිවාදයෙන් තොරව අත්‍යවශ්‍ය පිරිස විද්‍යාත්මක ක්‍රමවේදයකින් නිසා ලෙස ඉලක්ක කිරීම, පරිපාලන වියදම් අවම කරමින් ප්‍රතිලාභ කෙළින්ම බැංකු ගිනුමට බැර කිරීම හා වර්තමාන තත්වයට ගැලපෙන ප්‍රතිලාභයක් ලබාදීම මෙම වැඩසටහනෙහි මූලික ලක්ෂණ වේ. ඒ අනුව, අන්ත දිළිඳු කොටස්වලට රු. 15,000ක් දක්වා ප්‍රතිලාභ ලැබේ. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට කටයුතු කළ යුතුය.

කිසිදු දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහනක් විසින් ස්ථිරව ජනතාව එහි රඳවා තබාගත යුතු නොවේ. එයට ඇතුළු වෙන මාර්ග මෙන්ම එයින් පිටවන මාර්ග ද අත්‍යවශ්‍යය. එය කළ හැක්කේ දිළිඳු ජනයා අතර අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමෙනි.

අජිත් පැරකුම් ජයසිංහ

More Stories