පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් පුද්ගලික යෝජනා ලෙස විවාහය සහ දික්කසාදය සම්බන්ධ පනත් කෙටුම්පත් හතරක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. තවත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒවා නම් 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත, විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකාවේ විවාහ වීමේ අවම වයස හඳුන්වාදීම සඳහා වූ පනත් කෙටුම්පතයි. පළමු පනත් කෙටුම්පත් තුන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන අතර ඊළඟ පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබේ.
ලංකාවේ විවාහය සහ දික්කසාදය පිළිබඳ පොදු නීතිය පදනම්ව ඇත්තේ රෝම ලන්දේසි නීතිය මතයි. මෙම පොදු නීතිය 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනතෙන් නිරූපනය වේ. මෙයට අමතරව නිශ්චිත උඩරට ප්‍රදේශවල ජිවත්වන ජනයාගේ විවාහය සහ දික්කසාදය සඳහා බලපැවැත්වෙන්නේ 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනතයි. මෙරට ජිවත්වන මුස්ලිම් ජනයාගේ විවාහය සහ දික්කසාදය සඳහා බලපැවැත්වෙන්නේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතයි. අදාළ පනත් කෙටුම්පත් වලින් අදහස් කරන්නේ මෙරට විවාහ සහ දික්කසාද සම්බන්ධ එකම නීතිය රෝම ලන්දේසි නීතිය බවට පත් කිරීම සහ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 කිරීමයි.
විවාහ වීමේ අවම වයස
වර්ෂ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ 23 වන වගන්තිය අනුව වයස වසර 12 කට වඩා අඩු දැරියකගේ විවාහය, දැරිය පදිංචිව සිටින බල ප්‍රදේශයේ කාති උසාවිය මගින් අනුමත කෙරුනොත් හැර, ලියාපදිංචි නොකළ යුතුය.
වර්ෂ 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනතේ 15 වන වගන්තිය අනුව විවාහ වීමේ අවම වයස පුරුෂයකුට අවුරුදු 16 ක් වන අතර ස්ත්‍රියකට එය අවුරුදු 12 ක් වේ. ස්ත්‍රිය යුරෝපිය හෝ බර්ගර් හෝ දෙමව්පියන්ගේ දියණියක නම් අවම වයස අවුරුදු 14 ක් වේ. මෙම අවම වයස 1995 අංක 18 දරන පනත මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් සහ ජන වාර්ගික භේදයකින් තොරව අවුරුදු 18 දක්වා වැඩිකර තිබේ.
වර්ෂ 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 66 වන වගන්තිය අනුව විවාහ වීමේ අවම වයස පුරුෂයකුට අවුරුදු 16 ක් වන අතර ස්ත්‍රියකට එය අවුරුදු 12 ක් වේ. මෙම අවම වයස 1995 අංක 19 දරන පනත මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අවුරුදු 18 දක්වා වැඩිකර තිබේ.
මේ අනුව දැනට බලපැවැත්වෙන නීතිය යටතේ මුස්ලිම්වරුන්ට හැර අනෙක් අයට විවාහ වීමේ අවම වයස අවුරුදු 18 කි. එමෙන්ම වර්ෂ 1995 දක්වා මුස්ලිම්වරුන් පමණක් නොව අනෙක් ජනයාද විවාහ වීමේ අවම වයස සම්බන්ධයෙන් කල්පනා කර ඇත්තේ මුස්ලිම්වරුන් කල්පනා කරන ආකාරයටම බව පෙනී යයි. මුස්ලිම්වරුන් හැර අනෙක් ජනයා එය වෙනස් කරගෙන ඇති අතර සිදුවන සමාජ වෙනස්කම් අනුව මුස්ලිම්වරුන්ද ඔවුන්ගේ පනත වෙනස් කිරීම යෝග්‍ය වේ.
උඩරට නීතිය
බටහිර ආක්‍රමණිකයන් ලංකාවට පැමිණෙන යුගය වන විට මෙරට විවාහ සහ දික්කසාද සම්ප්‍රදායන් සහ අදාළ නීතිය ලිබරල් ස්වභාවයක් ගත් බව පෙනේ. වර්ෂ 1769 සහ 1815 අතර කාලය තුළ සෙංකඩගල පුරයේදී ලියන ලදැයි සැලකෙන නීති නිඝණ්ඩුව ග්‍රන්ථයට අනුව ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට හෝ විවාහ බන්ධනයෙන් මිදිය හැක. මේ සඳහා බාධක පනවා නොතිබුණු අතර අදාළ පාර්ශ්වයන්ට එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවිය.
විවාහය ආරම්භයේදී දෙදෙනාගේ වත්කම් වෙනම තබාගත යුතු විය. විවාහය අවසන් වීමේදී දෙදෙනාගේ ධනය සමසේ දෙදෙනා අතර බෙදී යා යුතුය. එනමුත් දික්කසාදය සඳහා මූලිකත්වය ගත්තේ එක් පාර්ශ්වයක් නම් එම පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ වත්කම් පිළිබඳව අයිතියක් නොමැත. එවකට බල පැවැත්වුණු විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳව දීර්ඝ විස්තරයක් නීති නිඝණ්ඩුවේ දැක්වේ. එම නීතියේ ලිබරල් ස්වභාවය රොබට් නොක්ස් සිය ග්‍රන්ථය මගින් සනාථ කරයි.
මෙම ස්වභාවය 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනතේ නිරූපනය වේ. එම පනතේ 32 වගන්තිය අනුව පහත සඳහන් කාරනා වලින් එකක් සම්පුර්ණ වුවහොත් විවාහය අවසන් කළ හැක.
■ විවාහයෙන් පසුව බිරිඳ විසින් කරනු ලබන පරදාර සේවනය
■ සැමියා විසින් කරනු ලබන ව්‍යභිචාරය හෝ හුදු කෘරත්වය හෝ සමඟ බද්ධ වූ පරදාර සේවනය
■ බිරිඳ විසින් වසර දෙකක කාලයක් තුළ සම්පුර්ණයෙන් සහ අවිච්ඡින්නව අතහැර යාම
■ සැමියා විසින් වසර දෙකක කාලයක් තුළ සම්පුර්ණයෙන් සහ අවිච්ඡින්නව අතහැර යාම
■ සතුටින් එකට විසීමට නොහැකි වීම. මේ සඳහා වසරක කාලයක් වාසයෙන් සහ සංවාසයෙන් තොරවීම සෑහේ.
■ දෙදෙනාගේ කැමැත්තෙන්
ලිබරල් මුහුණුවරක් ගන්නා මෙම ප්‍රතිපාදන අනුව නීති නිඝණ්ඩුවේ ලිහිල් ප්‍රතිපාදන වලට යම් කොන්දේසි එකතු කර ඇත.
රෝම ලන්දේසි නීතිය
උඩරට පළාත් වලින් බාහිරව තමන්ට යටත් ප්‍රදේශවල ජීවත්වූ ජනයා සඳහා රෝම ලන්දේසි නීතිය පදනම්වූ විවාහ සහ දික්කසාද නීතියක් යටත් විජිත පාලකයන් විසින් හඳුන්වා දෙන ලදී. මෙම පළාත්වල ජීවත් වූ ජනයා යටත් විජිත පාලකයන් විසින් හික්මවන ලදුව ඔවුන්ගේ සංස්කෘතියට ඇතුළත් කර ගන්නා ලදී. ක්‍රිස්තියානින් විසින් විවාහය පාරිශුද්ධ ලෙස සලකන ලදී. ක්‍රිස්තියානි විවාහය යනු එක් මිනිසකු සහ එක් ගැහැනියක අතර සැමියා සහ බිරිඳ වශයෙන් ජීවිත කාලයක් මුළුල්ලේ පවතින දෙවියන් විසින් ප්‍රව්‍රජිත සහ ස්ථාපිත කරන ලද එක්වීමකි. මෙම ජීවිත කාලයක් මුළුල්ලේ පවතින සම්බන්ධය රෝම ලන්දේසි නීිතිය මගින් නීතිගත කර ඇත.
වර්ෂ 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනතේ 19 වන වගන්තිය අනුව බලය ලත් උසාවියක් මගින් විවාහ බැම්මෙන් වෙන්වීමට කරනු ලබන නියෝගයකින් හැර වෙනත් කිසිම ක්‍රමයකින් විවාහ වූ දෙදෙනාගේ ජීවිත කාලය තුළ කිසිම විවාහයක් අවසන් නොකළ යුතුය. එම උසාවි නියෝගය කළ හැක්කේ විවාහයෙන් පසුව කෙරෙන පරදාර සේවනය හෝ ද්වේශ සහගත ලෙස අත්හැර යාම හෝ විවාහය සිදුවන අවස්ථාවේ තිබූ සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය හෝ මත පමණි.
මෙය දෙවියන්ගේ කැමැත්ත නීතිගත කිරීමකි. මෙම පසුගාමී නීතියට පදනම්ව ඇත්තේ එවකට යුරෝපයේ පැවති වික්ටෝරියානු සංස්කෘතික ආකල්පයි. වර්තමාන යුරෝපයේ දික්කසාද නීති බොහෝදුරට සමාන වන්නේ රෝම ලන්දේසි නීතියට නොව උඩරට නීතියටයි. වර්තමාන සිංහල සමාජයද විවාහය සහ දික්කසාදය සම්බන්ධ උඩරට සංස්කෘතියට අනුගත වෙමින් පවතී. රතන හිමියන් සහ එහිමියන්ගේ සිංහල බෞද්ධ මතවාදය ඉදිරියට ගෙන යන කණ්ඩායම නොදැනුවත්ව උත්සහා කරන්නේ සිංහල බෞද්ධ උරුමයන් අනුව විකාශය වූ උඩරට නීතිය ඉවතට දමා යටත් විජිත යුගයේ පැවති ක්‍රිස්තියානි සාරධර්මයන්ට අනුකූල වූ නීතිය උත්කර්ෂයට නැංවීමයි. කෙතරම් උත්ප්‍රාසයක්ද?
රතන හිමියන්ට සිංහල බෞද්ධ සංස්කෘතික හරයන් නැංවීමට අවශ්‍ය නම් කළ යුත්තේ 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත අහෝසි කර 1952 අංක 44 දරන උඩරට විවාහ සහ දික්කසාද පනත, විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් වන පොදු නීතිය බවට පත් කිරීමයි.
මුස්ලිම් නීතිය
මුස්ලිම් විවාහ නීතියට කළ යුතු සංශෝධන පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇත. මුස්ලිම් කාන්තාවන් වසර 30 කට අධික කාලයක් මේ පිළිබඳව උද්ඝෝෂණය කර ඇත. මේ පිළිබඳව වාර්තා කිරීමට විවිධ ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පත් කර තිබුණි. වර්ෂ 2009 දී විනිසුරු සලීම් මර්සූෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසම විසින් 2019 ජූලි මස සිය වාර්තාව ඉදිරිපත් කරන ලදී. එහි අඩංගුව තිබූ යෝජනා 14 කට මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබුණ බව වාර්තා වූ නමුත් සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය ඒවාට විරුද්ධ වූ බව පසුව වාර්තා විය.
විවාහය සඳහා අවම වයස කිසිම ව්‍යතිරේකයකින් තොරව අවුරුදු 18 කරන ලෙසත් කාතිවරුන්, ජූරි සභිකයන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන් ලෙස කාන්තාවන් ද පත් කරන ලෙසත්, මුස්ලිම් විවාහ නීතිය කිසිම භේදයකින් තොරව සියලුම මුස්ලිම්වරුන්ට සමානව බල පවත්වන ලෙසත්, සියලුම විවාහ සහතිකවල මනාලයාගේ සහ මනාලියගේ අත්සන හෝ ඇඟිලි සලකුණ හෝ ඇතුළත් කරන ලෙසත්, විවාහයේ නිත්‍යානුකුලභාවය සඳහා එය ලියාපදිංචිය අත්‍යවශ්‍ය බව සහතික කරන ලෙසත්, විවාහයට ඇතුළත් වීම සඳහා වැඩිහිටි කාන්තාවන්ට පිරිමි ඥාතියකුගේ හෝ කාතිවරයකුගේ අවසර ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරන ලෙසත්, දික්කසාදය සහ විවාහය අවලංගු කිරීම සඳහා කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන අයිතීන් ලබාදෙන ලෙසත්, කාන්තාවන්ට සහ පුරුෂයන්ට එකම දික්කසාද වීමේ ක්‍රියාවලියක් ඇති කරන ලෙසත්, කාන්තාවන්ට සහ පුරුෂයන්ට යුක්තිය සහතික කරනු වස් කාති උසාවි ක්‍රමය සංශෝධනය කරන ලෙසත් මුස්ලිම් කාන්තාවෝ ඉල්ලා සිටිති.
මෙම ඉල්ලීම් ඉතාම සාධාරණ වේ. සිවිල් සමාජයද මුස්ලිම් විවාහ නීතියට විරුද්ධ වන්නේ මෙවැනි කාරණා පදනම් කර ගෙනය. එනම් විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මූලික මානව අයිතිවාසිකම් මුස්ලිම් විවාහ නීතිය මගින් උල්ලංඝනය වීමට එරෙහිවය.
එනමුත් සිංහල බෞද්ධ ජාතිවාදීන් මුස්ලිම් විවාහ නීතියට එරෙහි වන්නේ එක රටක් තුළ එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුය යන ආස්ථානයේ පිහිටාය. එබැවින් මුස්ලිම් විවාහ නීතියට විරුද්ධ වන මුස්ලිම් කාන්තාවන් සහ සිවිල් සමාජය ද සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් ද විරුද්ධ වීමේ පදනම සහ පසුබිම එකම නොවේ. සිංහල බෞද්ධ ජාතිවාදී කොටස්වල සටන් පාඨය එක රටක්-එක නීතියක් වුවද එය පාවිච්චි වන්නේ රට එක්සත් කිරීම සඳහා නොවේ. මුස්ලිම්වරුන්ට වෙනස්කම් කිරීම සඳහාය.