dengue treatment

ඩෙංගු රෝගය මර්ධනය කිරිම වෙනුවෙන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මෙහෙයුම් දුරකථන ඇමතුම් මැදිරියක් ස්ථාපිත කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

ඉදිරියේදි පවත්නා වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති බවත් මේ වන විට ඩෙංගු වෛරසයේ රෝග ලක්ෂණද වෙනස් වෙමින් පවතින හෙයින් රෝගය කඩිනමින් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවද ඇය පවසයි.

ඩෙංගු රෝගය වාර්තා වන්නේ සියයට පනහක් බස්නාහිර පළාතෙන් වන අතර මෙය අඩු කිරිමට හැකි නම් ජාතික මට්ටමෙනුත් ඩෙංගු රෝගය අඩු වන බවද ඇය පවසයි.

විශේෂයෙන්ම මෙය නිවාරණ හා සත්කාරක සේවා තුලින් සිදු කළ යුතුව ඇති බවත් ඒ අනුව ඉදිරියේදි වෛද්‍ය පරික්ෂණ සිදු කෙරෙන ස්ථානයන්හීදිම රෝගය පිලිබඳ දැනුවත් කරන බවත් ඊට අමතරව පැය විසි හතර පුරා ක්‍රියාත්මක ඩෙංගු විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට ඒ මඟින්ද නිවාරණ, සත්කාරක සේවා කසල ක්‍රමවත්ව පරිසරයට මුදා හරින අයුරු ආදි සේවාවන් ලබා දීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ පිහිටුවීමට නියමිත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සඳහා මහජනතාවට පහසු දුරකථන අංකයක් නුදුරේදීම හඳුන්වා දෙන බවත් ඇය ප්‍රකාශ කර සිටියාය.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුකාර කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් හමු වු අවස්ථාවේදීය.

ශානි පොල්ගම්පල

More Stories