ලංකාවේ බොහෝ දේවල් පිළිබඳව පවතින විවේචනයක් නම් ඒ දේවල් දේශපාලනීකරණයට යටත් කොට තිබෙන බවය. රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, යුක්තිය පසිඳලීම දේශපාලනීකරණය කිරීම, මූල්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීම, රැුකියා ලබා ගැනීමේ හැකියාව දේශපාලනීකරණය කිරීම, අධ්‍යාපන ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය කිරීම ආදී වශයෙන් සෑම අංශයක් තුළම විශාල විවේචනයක් පසුගිය දශකයන් පුරාම සිදු වී ඇත. එය එක දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවකට කරන විවේචනයක් පමනක් නොව බලයේ සිටි සියලූම පක්ෂ හා සියලූම ආණ්ඩු වලට විරුද්ධව එල්ල වන චෝදනාවකි.

දේශපාලනීකරණය කරවීම යන්නෙන් කියැවෙන්නේ කිසියම් ව්‍යාජ භාවයක් එම කරන කාර්යය තුළට ගැබ් කර ඇති බවය. ඒ කාර්යය සාමාන්‍යයෙන් කරන බුද්ධිමය හරඹය තුළින් බැස ගන්නා සාධාරණ තීන්දු මත නොව දේශපාලන අරමුණක් සඳහා ගොතා ගන්නා ලද කිසියම් ව්‍යාජ චින්තන රටාවක් හා භාවිතාවන් තුළින් එම කරුණ සිදු කරන බවය. උදාහරණයක් වශයෙන් රැකියා ලබා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය ගතහොත් සාමාන්‍යයෙන් රැකියා ලැබිය යුතු වන්නේ සුදුසුකම් පදනම් කර ගෙනය. එම සුදුසුකම් අධ්‍යාපනික සුදුසුකම් විය හැකිය, ඒවා පුහුණුව පිළිබඳව සුදුසුකම් විය හැකිය. ඒවා සමහර වෙලාවට ශාරිරික ශක්තිය මත පදනම් වීමටද පුළුවන. කෙසේ වුවත් එයින් අදහස් වන්නේ අවශ්‍ය රැකියාවට සුදුසුකම් ඇත්තාට එම සුදුසුකම් මත එම රැකියාව ලැබී ඇති බවය. රැකියාව පිළිබඳ තරඟකාරිත්වයක් ඇත්නම් එයද නිගමනය කරනු ලබන්නේ අව්‍යාජ විධික‍්‍රමයක් මගිනි.

පරිපාලනය දේශපාලනීකරණය කර ඇතැයි කීමෙන් අදහස් වන්නේ පරිපාලනය සාමාන්‍යයෙන් කරන විෂයය බද්ධ වූ විධික‍්‍රමයන් මත පදනම් වී නොව කිසියම් ව්‍යාජත්වයකින් කෙරෙන බවය. එම ව්‍යාජත්වයට පදනම් වී ඇත්තේ කිසියම් දේශපාලන හේතූන්ය. පරිපාලනය නිසි ලෙස කරවා ගැනීමට අදාළ වන බුද්ධිමය හා වෙනත් සුදුසුකම් හා හැකියාවන් මත නොව කිසියම් ව්‍යාජ අරමුණක් ඔස්සේ අදාළ පරිපාලන ක‍්‍රමය සිදු කරන බවය. මෙය පුද්ගලයන් පිළිබඳ ප‍්‍රශ්නයක් පමනක් නොව පරිපාලන ක්ෂේත‍්‍රය තුළ තිබිය යුතු විධික‍්‍රමයන් ව්‍යාජ භාවයට පත් කිරීමක්ද වේ. කිසියම් කරුණක් උදාහරණයක් වශයෙන් කොන්තරාත්තුවක් රජයේ ආයතනයක් මගින් පුද්ගලයන් සමඟ කරන අවස්ථාවේදී අනුගමනය කළ යුතු වන්නා වූ විධික‍්‍රමයන් අතීත අත්දැකීම් මත පදනම් වී ගොඩනැගී ඇති අතර ඒවා නීති හා චක‍්‍රලේක ආදිය මගින් ලිඛිතව ප‍්‍රකාශ කොට ඇත. යම් අවස්ථාවක දේශපාලන අරමුණු සඳහා එම විධික‍්‍රමයන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් අවලංගු වන ආකාරයෙන් කි‍්‍රයා කරමින් ඒ තුළට ව්‍යාජ වූ විධික‍්‍රමයක් ඇතුල් කිරීම දේශපාලනීකරණය කිරීමක් ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව නිසියාකාර විධික‍්‍රමයක් අනුගමනය කිරීම මගින් බැස ගත හැකි නිගමනය නොව ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ නිගමනයන් කරා එළඹීම අනිවාර්යයෙන්ම සිදුවන්නේ ව්‍යාජත්වය මත සාධාරණ විධික‍්‍රමයක් නිර්මාණය කිරීමට නොහැකි නිසාය.

යුක්තිය පසිදලීමේ ආයතන සම්බන්ධයෙනුත් මෙය පෙර කී ආකාරයෙන්ම විස්තර කළ හැකිය. පුද්ගලයන් පිළිබඳ ප‍්‍රශ්න මෙන්ම නීතිය ඉටු විය යුතු විධික‍්‍රමයන් පිළිබ`ඳ සම්මත වූ ඥානය, විවිධ නීති කෘතීන් මගින් ඉතා පැහැදිළිව හා ලිඛිතව ප‍්‍රකාශ කොට ඇත. අපරාධ පරීක්ෂණයක් පටන් ගන්නේ කෙසේද? එය කෙරෙන්නේ මොන ආකාරයෙන්ද ? එහිදී ඇත්ත බොරුව වෙන් කර හඳුනාගන්නේ කෙසේද ? යම් කෙනෙකුට චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම් එය සාධාරණව කෙරෙන්නේ කොයි ආකාරයෙන්ද ? ආදී වශයෙන් විවිධ කරුණු පිළිබඳව ශතවර්ෂ ගණනාවක අත්දැකීම් පදනම් වී නිර්මාණය වූ විධික‍්‍රමයන් ඇත. මේ වෙනුවට මෙම කි‍්‍රයාකලාපයන් තුළට කිසියම් ව්‍යාජත්වයක් ඇතුල් කිරීම තුළින් එම විධික‍්‍රමයේ සැබෑ ගුණාත්මකභාවය මුළුමනින්ම කඩා වැටේ. ව්‍යාජත්වය හා අව්‍යාජත්වයට එකට පැවතීමට නොහැක. දේශපාලනීකරණයට හා බුද්ධිගෝචර ආකාරයට ප‍්‍රශ්න විසඳීම එකට පැවතිය නොහැක. එසේ පවතින තත්වයක් ඇති වූ කළ එයින් වාසිය සිදු වන්නේ ව්‍යාජත්වය පැත්තටය. ව්‍යාජත්වය ගෑවුන තැනකින් අවසානයට එළඹුන නිගමනයද ව්‍යාජ වූ එකක්ම වන්නේය.

රටක පවතින සියලූම අංශයන් තුළ ක‍්‍රියාත්මක වන ආකාරයන් තුළද දේශපාලනීකරණය කිරීම තුළින් ව්‍යාජ හේතූන් හා විධික‍්‍රමයන් ඇතුළු කළ විට සමස්ථ සමාජය තුළම පැතිරී යන්නේ අතිවාශාල බුදධිමය අවුලක් හා කඩා වැටීමකි. දේශපාලනීකරණය කිරීම යන කි‍්‍රයාකලාපය තුළින් රටේ සමස්ථ බුද්ධි ක‍්‍රමයම ඉතා ගැඹුරින් පහත හෙළා ඇත. සමස්ථ බුද්ධි ක‍්‍රමය තුළටම ව්‍යාජත්වය ඇතුල් කොට ඇත. ව්‍යාජ නොවන විධික‍්‍රමයන් වල යමක් ඉතිරිව තිබුණත් එසේ ඉතිරි වූ කොටස් සමඟ ව්‍යාජත්වයේ විධික‍්‍රම එකට ගැලපීම මගින් සමස්ථ බුද්ධි ක‍්‍රියාදාමයම මුළුමනින්ම මෙන් ව්‍යාජත්වයට පත්වේ.

ව්‍යාජත්වයට පත් බුද්ධි ක‍්‍රමයක් යන්නෙහි සරල තේරුම නම් බුද්ධිය පිරිහීම පමනක් නොව එක්තරා ආකාරයක සමාජ ව්‍යාධියක් සේ බුද්ධියේ ආරවුල වැඩෙන බවය. මෙයින් කියවෙන්නේ බුද්ධිමය ක්ෂේත‍්‍රය තුළ එක්තරා පිස්සුවක් පැතිරී යාමය. එක් ගීතයක සඳහන් ආකාරයට මේ රටේ මිනිස්සු, උන්ට හොඳටම පිස්සු යනුවෙන් ගීතමය ආකාරයෙන් ප‍්‍රකාශයට පත් වන්නේ රටතුළ පිරී පැතිරී ගොස් ඇති මෙම බුද්ධිමය ව්‍යාධියයි.

බුද්ධිමය ව්‍යාධියකින් පෙළෙන රටක් තුළ සාමාන්‍ය බුද්ධියෙන් විසඳිය යුතු කිසිදු ප‍්‍රශ්නයක් ඒ ආකාරයෙන් විසඳීමට බැරිය. එසේ විසඳීමට පුළුවන් යැයි සිතීමමද එම ව්‍යාජත්වයේම හා එම රෝගී තත්වයේම කොටසකි. යම් පරීක්ෂණයක යෙදෙන විද්‍යාඥයෙකු එම පරීක්ෂණය තුළට ඊට අදාළ විධික‍්‍රමයන් නොව ව්‍යාජ විධික‍්‍රමයන් ඇතුළු කළහොත් එම පරීක්ෂණය අගදී ඔහු හෝ ඇය බලාපොරොත්තු විය යුත්තේ තමන් එළඹෙන නිගමනයද එසේම ව්‍යාජත්වයෙන් පෙළෙන බවය.

රටපුරා සෑම අංශයක් තුළම එනම් දේශපාලන සමාජමය ආධ්‍යාත්මික සංස්කෘතික යන සෑම අංශයන් තුළට ව්‍යාජත්වය ඉතා දරුණු ආකාරයකින් ඇතූලූ වන සේ රටේ කෙරෙන සියලූ දෙයක්ම දේශපාලනීකරණය කර හමාරය. මේ අනුව මේ එකම අංශයක්වත් සාධනීය ප‍්‍රතිඵල ලැබේයැයි බලාපොරොත්තුවක් ඇති කර ගැනීම එම ව්‍යාධියෙන් පෙළෙන මානසික තත්ත්වයකම නිගමනයක් මිස කිසිම යථාර්ථවාදී වූ නිගමනයක් නොවේ.

පිස්සුවට වෙදකම් කිරීම ඉතාමත් අමාරු එකක් බව ලෝකයේ සෑම රටක් තුළම ඇති අත්දැකීම් වලින් ඔප්පු වී ඇත. එසේ සිදුවන්නේ යම් පුද්ගලයෙකු තුළ තිබෙන බුද්ධිමය හැකියාව තුළ ඇති වී ඇති ව්‍යාජත්වය හා අවුල් නිසාය. එහෙත් සමස්ථ සමාජයක් තුළ පැතිරී පවතින ව්‍යාජත්වයක තුළින් පැනනැගෙන සමාජ විකාරරූපී භාවය කෙසේ ගොඩආ හැකි එකක්දැයි සිතාගැනීම අතිශයින් අමාරුය. ලාංකිකයා අද මුහුණ දී සිටින්නේ එවැනි අතිශයින් අමාරු කරුණක් පිළිබඳවය.

අනාගතය පිළිබඳ කිසියම් උනන්දුවක් දක්වන කාගේත් අවධානය යොමු විය යුතු වන්නේ බුද්ධිමය ක්ෂේත‍්‍රය තුළ පැනනැගී ඇති මෙම ව්‍යාධි තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද යන්න පිළිබඳව සාමුහික වශයෙන් සාකච්ඡා කිරීමය. සමහර විට එවැනි සාකච්ඡුා තුළින් ඇතිවන බුද්ධිමය ප‍්‍රබෝධයක් තුළින් දැනට සාමූහිකව පැතිරී ඇති බුද්ධිමය ව්‍යාධියෙන් ගොඩඒමට මාවතක් පෑදීමට පුළුවන.

බැසිල් ප‍්‍රනාන්දු

More Stories