5000

රටේ එක දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ජිවනෝපාය අහිමිව සිටින පුද්ගලයින් වෙත රුපියල් 5000 ක දීමනාවක් ලබා දිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තිරණය කර තිබුණි.

එහි පළමු අදියර ලෙස සමෘද්ධිලාභි පුද්ගලයින් වෙත රුපියල් 5000 ක් ලබා දුන්නේය. මෙය ලබා දුන්නේ සමෘද්ධි හිමියන්ගේ අනිවාර්ය ඉතිරිකිරිමේ ගිණුමේ ඇති මුදල් වලිනි. ඒ පසුව අය කර ගැනීමේ කොන්දේසියකට යටත්වය. එසේම මේ සඳහා අනිවාර්ය ඉතිරි කිරිමේ ගිණුමේ මුදල්ද තිබිය යුතු විය. මේ නිසා සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 ගෙවීමේදි සමෘද්ධි නිලධාරින් හා සමෘද්ධිලාභීන් අතර ගැටුම් ද ඇති විය. මේ අතර ටික දිනක් යන විට රජය ප්‍රකාශයට පත් කර සිටියේ එම ලබා දුන් 5000 නැවත අය කර නොගන්නා බවය.

සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 ලබා දිමෙන් පසු රජය ග්‍රාම නිලධාරිවරු හරහා වකුගඩු රෝගීන්ට, ආබාධිත පුද්ගලයින්ට, ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට, වැඩිහිටි දීමනා ලබන පුද්ගලයින්ටද රුපියල් 5000 දිමනාව ලබා දීමට කටයුතු කළහ. ඉන් අනතුරුව එදිනෙදා රැකියා කර ජිවත් වු පුද්ගලයින් වෙත, බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට, ප්‍රාදේශිය මාධ්‍යවේදින්ට, ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් වෑන් රථ රියදුරන්ටද මෙම රුපියල් 5000 දිමනාව ලබා ගත හැකි බව රජය මාධ්‍ය මගින් නිවේදනය කර සිටියහ.

මෙම දීමනාව ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා හා වසමේ ග්‍රාමසේවා නිලධාරියා විසින් තෝරා ගන්නා ලද පුද්ගලයින්ට හිමි වෙන අතර ඒ සඳහා බොහෝ පුද්ගලයින් ඉල්ලුම් කර තිබුණි. මෙහිදි රජය විසින් විවිධ චක්‍රලේඛ වරින් වර මේ සඳහා නිකුත් කරන්නට වු අතර එහිදි අපහසුතාවයට පත් වුයේ මේ නිලධාරින්ය. එමෙන්ම ඇතැම් ප්‍රදේශ වල සමෘද්ධි සංවර්ධන නිලධාරියා හා ග්‍රාම නිලධාරිවරයා අතර හිත් අමනාපකම් ඇති වුයේ මේ 5000 ලබා දෙන පුද්ගලයින් වර්ගීකරණය කිරිමට යාම නිසාය.

වරින් වර නිකුත් කෙරුණු චක්‍රලේඛ නිසා දැඩි අසිරුතාවයට පත් වු ග්‍රාමසේවා නිලධාරින් පහුගිය දිනවල මේ 5000 දිමනාව ලබාදිමෙන් ඉවත් වුයේ ගමේ පුද්ගලයින්ට මුහුණ දිමට නොහැකි බව කියමිනි. නිදසුනක් ලෙස පුද්ගලයින් 400 ක් සිටිනා ග්‍රාමසේවා වසමකින් මේ චක්‍රලේඛ අනුව තෝරා ගත හැක්කේ 50 කු පමණක් බව එක් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවේ සියලු දෙනාම සිටින්නේ දැඩි මානසික ආතතියකිනි. එමෙන්ම පීඩනයකිනි. එය නිලධාරියාට මෙන්ම ගම්වැසියාටද පොදුය. නමුත් ගමේ පුද්ගලයා තමන්ගේ නම ලැයිස්තුවෙන් ඉවත් කළායැයි උරණ වන්නේ ගමේ වැඩ කරන සමෘද්ධි හෝ ග්‍රාමසේවක නිලධාරිවරයා සමඟිනි. ඔහු ඇතැම් විට ඔහුගේ පීඩනය මෙම නිලධාරින් මතින් මුදා හැරිය හැක. කෙසේ නමුදු මේ රුපියල් 5000 මේ වන විට ගමේ ඉන්නා සියලුම දෙනා ලබා ගැනීමට උත්සහ කරමින් සිටියි. මේ නිසා දැන් ගම්වල ඇත්තේ එකිනෙකා අතර තරඟයකි. මේ 5000 නිසා මිනිසුන් ග්‍රාමසේවකට, සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට, ප්‍රාදේශිය ලේකම්වරුන්ට ඔවුන්ගේ දෙමාපියන් මතක් කරමින් බැන වදින තත්ත්වයට දැන් පත්ව ඇත.

දෙනියාය සමෘද්ධි නිලධාරියාට පහර දීම, නාවුල කන සපා කෑම, රත්තොට සමෘද්ධි නිලධාරියාට පහර දිම මෙන්ම එරාවුර්හිදි ප්‍රාදේශිය ලේකම්වරයාට හා ග්‍රාම සේවා නිලධාරින්ට බැන වැදිම මේ රුපියල් 5000 නිසා හටගත් ගැටුම් වලින් කිහිපයකි.

රජයේ විධිමත්, ස්ථිර නියෝගයක්, චක්‍රලේඛයක් නොමැතිකමින් අද රුපියල් 5000 නිසා රජයේ නිලධාරින් මිනිසුන්ගෙන් ගුටි කන තත්ත්වයට ඇද වැටිම බේදජනකය.

ශානිකා

More Stories