වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව වරායා සේවකයන් සම්බන්ධයෙන් වරාය සේවකයන් කෙරෙහිද වැඩි අවදානයක් දක්වන මෙන් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ජී. නිරෝෂන් මහතා නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.කොරෝනා වසංගතය ලොව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක එම වෛරසය පාලනය කළ රටවල් අතර ශ‍්‍රී ලංකාව මුල් පෙලේ පැවතීම අප රටට ඉමහත් ගෞරවයකි.

එහෙත් පසුගිය දා දිවුලපිටියෙන් හමුවූ නව කොරෝනා පොකුර මගින් නැවත වටයකින් අපේ රට කොරෝනා අවධානමට ලක්ව ඇත. එම අනතුර එසේ තිබියදී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නෞකා මෙහෙයවීමේදී නිසි ආරක්ෂිත වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක නොකිරීම මගින් කොරෝනා වෛරසය තවත් ආකාරයකින් රට තුළට ඇතුලූවීමේ අනතුරුදායත තත්වයක් මතුව ඇත. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප පහත නීරීක්ෂණ ඔබ තුමාගේ අවධානයට යොමු කරවමු.

නෞකා මෙහෙයුම් ක‍්‍රියාවලියට ඝෘජු ලෙස දායකත්වය සපයන වරාය සේවකයින් සහ බාහිර සේවා සපයන්නන් ඉතාමත් අනාරක්ෂිතව නෞකා මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධ වීම,වරායට පැමිණි නෞකා කිහිපයකම කොරෝනා රෝගීන් වාර්තා වී තිබූ අතර නෞකා මත මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වන වරාය සේවකයින් හා බාහිර සේවා සපයන්නන් ගෙන් එකී තොරතුරු වසන් කිරීම,නෞකා වල සේවයේ නිරත දෙස් විදෙස් කාර්යය මණ්ඩල සේවකයින් නෞකා වලින් පිටතට පැමිණීම,කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අභ්‍යන්තරිකව නිසි ආරක්ෂිත වැඩ පිළිවෙලක් නොතිබීම,කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ඔබ තුමා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය අංශත් ගනු ලබන ක‍්‍රියා මාර්ග පළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇත. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප ඉහත අවධානම් තත්වය පිළිබඳව ඔබතුමා දැනුවත් කරන අතර පහත යෝජනාද ඔබගේ අවධානයට යොමු කරවමු.

වරායන් වෙත පැමිණෙන සියළු නෞකා හා කුඩා යාත‍්‍රා වල කාර්යය මණ්ඩල සේවකයින් නෞකා වලින් හා යාත‍්‍රා වලින් පිටතට පැමිණීම වැලක්වීම, නෞකා වලට හා යාත‍්‍රා වලට ඇතුළු වන වරාය සේවකයින් හා බාහිර සේවා සපයන්නන් සඳහා නෞකාවේ හෝ යාත‍්‍රාවේ කොරෝනා රෝගීන් සිටීවී යන උපකල්පනයේ පිහිටා විධිමත් ආරක්ෂිත වැඩ පිළිවෙලක් කඩිනමින් ක‍්‍රියාවට නැගීම,වරාය ආරක්ෂක අංශ සම්බන්ධ කර ගත් විධිමත් ආරක්ෂිත වැඩ පිලිවෙලක් නෞකා හා දොරටු මූලික කරගනිමින් සිදුකිරීම,ලොව පූරා කොරෝනා තත්වය පාලනය වන වරාය අදාල අංශ සම්බන්ධ කර ගත් නිසි බලධාරියෙකු යටතේ පැය 24 පුරා ක‍්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් වරාය තුළ ස්ථාපිත කර ක‍්‍රියාවට නැගීම ද වැදගත්ය.

ජාතික වැදගත්කමකින් යුතු ඉහත කරුණු කෙරෙහි ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අප අපේක්ෂා කර සිටිමු. වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස කොවිඩ්-19 පාලනයට ඔබ ඇතුළු පිරිස ගනු ලබන වෙහෙසකර මැදිහත්වීම අගය කරන අප, අපගේ දායකක්වය ඉල්ලා සිටින  ඕනෑම මෙහොතක එම දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවෙන බව ප‍්‍රකාශ කර සිටින බවද මෙම නිවේදනයේ සදහන් වේ.

බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories