විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.
එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට එකතු වී හොරණ ආසනයේ ශිෂ්‍ය අංශය භාරව වැඩ කළෙමි. එකල මට ලයනල් නිතර නැවත හමු විය. එවකට ඔහු හොරණ නගරයේ බස් නැවතුම්පළ අසල මත්පැන්හල ඉදිරිපිට රටකජු ලෑල්ලක් තබාගෙන විකුණමින් සිටියේය. පක්ෂයේ බොහෝ දෙනෙකු සම්බන්ධීකරණය සඳහා පණිවුඩ තබා ගියේ මේ රටකජු ලෑල්ලේය. ජවිපෙ තහනම් කර තිබුණු එම දුෂ්කර සමයේ අප බඩගින්නට රටකජු අහුරක් කෑවේ ද එතැනිනි.
ලයනල් ජීවත් වුණේ හොරණ, මුණගම පැත්තේ උදාගමක කුඩා නිවසකයි. යකෙකු වුණත් ඒ මගේ පුතායි ලයනල් වෙනුවෙන් අධිකරණයේ නො බියව පැවසූ ඒ නැසී ගිය උදාර මාතාව මෙන්ම ලයනල්ගේ සොයුරු සොයුරියෝ ද ජනතා විමුක්ති පෙරමුණේ අවංක හිතවත්තු හා ක්‍රියාධරයෝ වූහ. ලයනල්ගේ සොයුරියක් පක්ෂයේ කාන්තා අංශයේ පූර්ණකාලීනව වැඩ කළාය. ඇය පසුව විවාපත් වූයේද පක්ෂ පූර්ණකාලිකයකු වූ අයෙකු සමගය. ඔවුන්ගේ නිවසේදී පක්ෂ ක්‍රියාකාරිකයන්ට තමන්ට පුළුවන් හැටියට කන්නට, බොන්නට දී සැලකූ ආකාරය තුළ තිබුණේ නියම නිර්ව්‍යාජ සහෝදරත්වයකි. ලයනල් සහ ඔහුගේ මව හැර සෙසු බොහෝ අය තවමත් ජීවතුන් අතර සිටිනවා ඇත.
කුළුපණ පිහිටි ලයනල්ගේ වැඩිමහල් සහෝදරයාගේ නිවස ද දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම පක්ෂ සාමාජිකයකුට විවෘත තැනක් විය. පක්ෂයේ අය නිතර යාම, ඒම, කෑම, බීම, නවාතැන් ගැනීම, සාකච්ඡා පැවැත්වීම ආදිය නිසා ඇති වන අවදානම තඹයකට නො තකමින් මේ දුප්පත් දරු පවුල ජවිපෙට උපකාර කළහ.
අවදානම දැරීමේ සූදානම මා පීඩිත පංතිකයන් තුළ දැක තිබෙන එක් සුවිශේෂ ලක්ෂණයකි. ජවිපෙට දුෂ්කර සමයන්හිදී පක්ෂය මග හැර නොයමින් රැක ගත්තේ මෙවැනි පීඩිතයන් පමණි. ඔලුව උස්සාපු හැටියේ ජවිපෙ කරන්නේ මෙම පීඩිතයන් අමතක කර දමා මධ්‍යම පංතිය සරණ යාමයි.
ලයනල්ගේ අයියා රැකියාවට කළේ වෙස්මුහුණු කපන එකයි. කදුරු කොටයේ කිසිදු සලකුණක් නො යොදා අත් පොරවෙන් වෙස් මුහුණ කපාගෙන, කපාගෙන යන අයුරු ඒ දිනවල ශිෂ්‍යයකු වූ මම විස්මයෙන් බලා සිට ඇත්තෙමි.
ජවිපෙට සම්බන්ධ නො වුණා නම් ලයනල් කිසි කලෙක එවැනි ඝාතකයකු වේ යයි මා නම් සිතන්නේ නැත. එහෙනම් ඔහු ද සුළු ව්‍යාපාරයක් කරගෙන, දරුවන් හදා වඩාගෙන තවමත් ඉන්නවා ඇත.
ටාසන් වීරසිංහව මට ලයනල් තරම් හමු වී නැත. ඔහු කලුතර ඩිපෝවේ වැඩ කළ රියදුරෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනෙකු සිටි බව මතකය. පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු ලංගම රියදුරු කාලයේ පැදෙව්වේ කළුතර සිට පයාගල හරහා යටදොල දක්වා ධාවනය වූ බසයකි.
ඔවුන් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම ආරම්භයේ සිට ම එහි ක්‍රියාකාරිකයන්ව සිට තිබේ. දේශපාලන අංශයේ වැඩ කළ අප පවා ඒ පිළිබඳව දැන ගත්තේ ජවිපෙ සන්නද්ධ ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසුවයි. ලයනල්ගේ තවත් සගයකු වන කරුණාරත්න බණ්ඩාර ජවිපෙ විසින් පක්ෂ සම්බන්ධකම් හරහා හමුදාවට යවා පුහුණුව ලබා ගත් පසු පැන ආ බව දනිමි. ලයනල් ද ඇතැම් විට ඒ පුහුණුවට යන්නට ඇත. දක්ෂ සටන්කරුවකු වූ කරුණාරත්න බණ්ඩාර මිය ගියේ ජවිපෙ විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී තමන්ගේම කණ්ඩායමේ අයකු වැරදීමකින් තබන ලද වෙඩිල්ලකින් බව දැන ගන්නට ලැබිණි. ජවිපෙ කළුතර දිස්ත්‍රික් සන්නද්ධ බලකාය එකල නම් කර තිබුණේ කරුණාරත්න බණ්ඩාර බලකාය ලෙසයි.
මට කීමට ඇති මූලික කරුණ වන්නේ මේ කිසිවෙකු කුලී ඝාතකයන් නො වන බවයි. ඔවුන් එවැන්නන් වීමට කිසිදු පසුබිමක් තිබුණු අය නොවේ. චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් විජයගේ මළගම පවා සිය වාසියට භාවිතා කෙරුවේ අතිශය නින්දිත අන්දමටයි. මෙම ඝාතනය එවකට පැවති ආණ්ඩුව පිට පටවන්නට යාම නිසා අවසානයේ සිදු වුණේ ජවිපෙ අවංක ක්‍රියාධරයන් දෙදෙනෙකු කුලී ඝාතකයන් ලෙස නම් කිරීමයි.
මෙම කණ්ඩායමේ අය සිය සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැලුණේ මනා දේශපාලන අවබෝධයකින් යුුතුව, පක්ෂයේ නියමය නිසා මිස පෞද්ගලික ලේ පිපාසයකින් නොෙවේ. මෙම සන්නද්ධ කණ්ඩායමේ පිරිස් අතර ඔවුන් හුදු ඝාතකයන් ලෙස පමණක් පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විවේචනයක් තිබිණි.
ඔවුන් පැරණි පක්ෂ සාමාජිකයන් වුව ද ඔවුන්ට පක්ෂයේ නිල දේශපාලන ධුරාවලිය තුළ කිසිදු තැනක් හිමි වුණේ නැත. ඒ වෙනුවට දේශපාලන අංශයේ සිටි වෙනත් අය සන්නද්ධ අංශයේ දිස්ත්‍රික් ලේකම් වැනි ඉහළ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි විවේචනයක් තිබිණි. කලුතර දිස්ත්‍රික්කයේ අය සිටියදී පිටින් එන අයට ඉහළ තනතුරු දෙනවා යි බොළඳ, ප්‍රාදේශීයවාදී විවේචනයක් ද ඔවුන්ට තිබිණි.
මෙම ඝාතක කල්ලි තුළ මිලිටරි විනයක් තිබුණේ නැත. ලයනල් රණසිංහ තමන් සිදු කළ ඝාතන පිළිබඳ පොලිසියට දුන් විස්තරාත්මක කටඋත්තර වැනෙම විස්තර ඔවුන් නතර වී සිටි නිවෙස්වල ගැහැනු ළමයි පවා දැන සිටියහ.
විජය ඝාතනය සිදු වන කාලයේ ලයනල් රණසිංහ හා ටාසන් වීරසිංහ වැඩ කළේ කොළඹ දිස්ත්‍රික්කයේය. එසේ වුව ද, ඔවුන් කිසි සේත් ම කුලී ඝාතකයන් බවට පත් නො වන බව මගේ දැඩි විශ්වාසයයි.
අනෙක, ජවිපෙ ඒ වකවානුවේ විජය වැනි වාමාංශිකයන්ට එළව එළවා පහර දුන්නේෙය. ජවිපෙන් වැඩියෙන් ම බැට කෑවේ ජවිපෙට ආසන්න සතුරා වූ වාමාංශික ව්‍යාපාරයයි.
විජය ඝාතනය කළේ ජවිපෙය. එහෙත්, එය ඒ වකවානුවේ පැවති දේශපාලනය විසින් නිර්මානය කරන ලද තත්වයක් මිස තේරුම් ගත නොහැකි කුමන්ත්‍රණයක් නො වේ. එහෙත්, විජයගේ විවාහක බිරිඳගේ සිට ජවිපෙ දක්වා අවස්ථාවාදී දේශපාලකයන් රැසක් විසින් දැනුවත්ව නිර්මානය කරන ලද ප්‍රබන්ධ හේතුවෙන් විජයට මෙන් ම ඝාතකයාට සිදු වන්නේ අසාධාරණයකි.
ලයනල් රණසිංහට ද ගාන්ධි මැරූ ගොඩ්සේට සේ කියන්නට කතාවක් තිබෙන්නට ඇත. එවකට සිටි පාලකයන් හා ආරක්ෂක ප්‍රධානීන් ලයනල් රණසිංහ මරා දැම්මේ මෝඩකමට, උද්දච්ඡකමට හා මේ කතාව කියවෙන එක වළක්වන්නටය.
විජය ඝාතනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ ප්‍රබන්ධ නිර්මානය කරන කාටවත් ලයනල් රණසිංහ හමු වී නැත. ඔහු හමු වූ එක් අයෙකු ජවිපෙ නායකත්වයේ තවමත් ඇත. ඒ ටිල්වින් සිල්වාය.
ලයනල්ගේ අම්මා මෙන් මට ද කීමට ඇත්තේ යකෙකු වුවත් ඔහු අවංක තරුණයකු බවයි. ඔහු කුලී ඝාතකයකු නොවේ. 1989දී ලංකාවේ බලය අල්ලාගෙන සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් කැරැලි ගැසූ, සියල්ල ඒ වෙනුවෙන් පරදුවට තැබූ අවංක තරුණ පරපුර නියෝජනය කරන, මා දන්නා හොඳම සංකේතය ලයනල් රණසිංහයි.
ලයනල් රණසිංහ ජවිපෙ කලුතර සන්නද්ධ අංශයේ වැඩ කරද්දී ඔහු භාවිතා කළ නම මහින්ද ය. මහින්ද යන නම භාවිතා කළ තවත් කෙනෙකු පූර්ණකාලීනව වැඩ කළ නිසා ඔහු ලොකු මහින්ද ලෙස ද හැඳින්විණි.
praja
අජිත් පැරකුම් ජයසිංහ