එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන සංසිද්ධියක් ලෙස ක්‍රියා කලේය.

අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ අළුත් කෙනෙකු නොවේ. හොඳටම පරණ කෙනෙකි. ඔහු මේ ධුරයට පත්වන හයවන අවස්ථාව වන අතර සමහර විට එම විෂයේ දී තබන නව ලෝක වාර්ථාවක් ද විය හැකිය. ඔහුට එරෙහිව එල්ල කල හැකි බොහෝ විවේචන තිබුණ ද වර්තමානයේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතර සිටින දැනුමෙන් හා පලපුරුද්දෙන් ද ජාත්‍යන්තරය සමග වැඩ කිරීමට තිබෙන හැකියාව අනුවද ඉදිරියෙන්ම සිටින කෙනා ලෙසද සැළකිය හැකිය.

ඔහු රටේ ජනයාගේ අප්‍රසාදයට ලක්ව සිටින පාලක පක්ෂයක අනුග්‍රහය මත එම තනතුරට පත්වීම ඔහුට ලැබෙන වැදගත්කම දුර්වල කරන සාධකයක් ලෙස සැළකිය හැකිය. එහෙත් දැන් තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ඔහු පමණක් නොව වෙනත් ඕනැම කෙනෙකුට ද (සජිත් ප්‍රේමදාසට, කරු ජයසූරියට හෝ ආණ්ඩු පක්ෂයෙන් පිටස්තර ඕනැම කෙනෙකුට) එම තනතුරට පත්විය හැක්කේ ආණඩු පක්ෂයේ අනුග්‍රහය ඇතිව පමණය. විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාරගැනීමට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එය බාර ගනිමින් තමන් පිහිටුවන ආණ්ඩුවේ මුදල් ඇමතිකම තමන් ගේ පරණ නායක රනිල් වික්‍රමසිංහට බාරදුන්නේ නම් එය ඉතාමත් වර්ණවත් දෙයක් වන්නට ඉඩ තිබුනා සේම රනිල්ට අගමැතිකම ලැබීමෙන් පසු සජබෙ ඔහුට සහාය පලකරන පිළිවෙතක් අනුගමනය කළේ නම් එය ද ඉතා වර්ණවත් දෙයක් වන්නට ඉඩ තිබුණි.

මෙම දුෂ්කර අවස්ථාවේදී රට වඩා වැදගත් කොට සැළකිය යුතුව තිබුනේ රනිල්ට බාරදී තිබෙන සීමිත කාර්‍යබාරය (ගෙවුම් ශේෂ අර්බුදයෙන් පීඩා විඳින මහජනයාට අවශ්‍ය සහනද ලබා දෙමින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇති කරමින් ඉක්මනින් පවත්වන්නට අපේක්ෂා කරන මැතිවරණය තෙක් රට පාලනය කිරීමය) ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාව ඔහුට තිබේද යන ප්‍රශ්නයයි. එහෙත් රටේ උගත් මහජනයා වඩා වැදගත් කොට සලකන බව පෙනෙන්නේ ඔහුට තිබෙන එම හැකියාව නොව ප්‍රශ්නයට අදාල නැති අනන් මනන් දේවල්‍ ය. ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳනාවාටත් වඩා දුෂ්කර වනු ඇත්තේ අන් හැම ආකාරයකින් පමණක් නොව සිතුම් පැතුම් වලින්ද අරාජික වී සිටින දැන උගත් මතවාදි සමාජයෙන් එල්ල වී තිබෙන එම අභියෝගය ජයගැනීමට අගමැති රනිල්ට පුළුවන්ද? යන ප්‍රශ්නයයි.

එය ඔහුට පමණක් එල්ලවන අභියෝගයක් නොව මේ මොහොතේ එම තනතුරට පත්වන වෙනත් ඕනැම පුදගලයෙකුට (සජිත්ට, කරු ජයසූරියට, සරත් ෆොන්සේකාට, අනුර කුමාර දිසානායක හෝ වෙනත් ඕනෑම කෙනෙකුට) මුහුණ දෙන්නට සිදුවන අභියෝගයක් ලෙසද සැළකිය හැකිය. ලංකාවේ මේ මොහොතේ උගත් මතවාදි සමාජ මනසේ රජකරන මෙම අරාජික තත්වය තුළ වැඩියෙන්ම විය හැකි දේ රට මහා විනාශයකට තල්ලුවී යාමය. සමහර විට ලංකාවේ සමාජයට තර්කානු කූලව කරුණු සලකා බැලීමේ නුවණ පහල වනු ඇත්තේ ද දැන් තිබෙන කාලකණ්නි තත්වය ඉක්මවා උපරිම කාලකණ්නි තත්වයකට පත් වීමෙන් පසුව විය හැකිය.

“ගෝඨා ගෝ හෝම්” කියන ජනප්‍රිය සටන් පාඨය මෙම අර්බුද කාලයේදී ලංකාවේ සමාජ දේශපාලන මනසේ තිබෙන අවුල් සහගත හා ව්‍යවස්ථා විරෝධි භාවයේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි හොඳ නිදසුනකි. 78 ව්‍යවස්ථාවෙන් ආණ්ඩු ක්‍රමය සකස් කර තිබෙන්නේම ජනාධිපති පාලනය දෝෂාහියෝගයක් මගින් හෝ ජනාධිපතිවරණයකදී හැර අතර මැදි අවස්ථාවකදී පරාජය කළ නොහැකි ආකාරයටය. ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය වන අවස්ථාවකදී පවා ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාව සිටිය දීත් එම විශ්වාසභංගය ඔහු කෙරෙහි බලපාන්නේ නැත. බලපාන්නේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය කෙරෙහි හා දුර දිග ගිය අවස්ථාවකදී ඊට අතිරේකව පාර්ලිමේන්තුව කෙරෙහිත් පමණය. ජනාධිපති තනතුරේ සිටියදී තනතුරෙන් පහකිරීම සඳහා යොදා ගත හැකි එකම ව්‍යවස්ථානුකූල ක්‍රමය වනුයේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමය.

ඒ සඳහා ඇතිකර තිබෙන ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයක් ජය ගැනීම ඉතා දුෂ්කර වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක්ද අත්‍යවශ්‍ය ය. තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටිය හැකි වුවත් ඉතාමත් සාධාරණ හේතු ඇතිව ඉතා ප්‍රබල ලෙස එම ඉල්ලීම ඉදිරිපත් වී තිබෙන අවස්ථාවකදී පවා එය බාර ගැනීමට ජනාධිපති ව්‍යවස්ථානුකූලව බැඳී නැත. කැමති නම් ඔහුට තනතුරෙන් ඉල්ලා අස්විය හැකිය. එහිදීත් නව ජනාධිපතිවරයා තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව විසින් හා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන දේශපාලන කණ්ඩායම විසිනි.

ව්‍යවස්ථාවෙන් ඇතිකර තිබෙන මෙම ප්‍රතිපාදන වලින් පරිබාහිරව ජනාධිපති ගෙදර යවන්න දරන ප්‍රචණ්ඩ හෝ සාමකාමි උත්සාහයක් සැළකිය හැක්කේ ව්‍යවස්ථාවට පටහැනි “විප්ලවයක්” ලෙස ය. ඒ සඳහා දරන අති විශාල ප්‍රබල උත්සහයකින් සමහර විට අවසානයේ ජනාධිපති පරාජය කිරීමට හැකි විය හැකි වුවත් ඒ නිසා රටට උරුමවන්නේ බැංකු ක්‍රමය බිඳ වැටුනු, රටේ ආයතන ක්‍රමය බිඳ වැටුනු, දුප්පත් කම හා සාගින්න රජයන, උපරිම මට්ටමකට අරාජික වූ කාලකණ්නි රටක් නම් එම විප්ලවයේ ඇති ඵලය කුමක්ද?

මෙම තරුණ නැගිටීම ඇතිවූ ආරම්භයේ සිටම මගේ ඉල්ලීම වුයේ අරගලය ව්‍යවස්ථාපිත මාර්ගයකට යොමු කරගත යුතු බවය. මා මාගේ ලේඛන වලින් හා සාකච්ඡා මගින් එම ඉල්ලීම කළේ නැගිටීමේ සිටි තරුණයින්ගේ දැන ගැනීමට වඩා කිසියම් ප්‍රමාණයකට හෝ එම තරුණයින්ගේ උපදේශකයින් බවට පත්ව සිටි උගත් වැඩිහිටියන් ගේ දැන ගැනීම සඳහා ය. එහෙත් ඔවුන් අරගලයේ සිටි තරුණයින්ට ස්තුති පූර්වකව කීවේ ඔවුන් තෝරාගත් මාර්ගය හරි බවය.

අරගලය අත නෑරම ඉදිරියට ගෙනයන ලෙස ඔවුන් එම තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ව්‍යවස්ථාවට පටහැනි බව හා එය අහිංසාවාදි ලෙස වුවත් බලහත්කාරි ලෙස දිනා ගන්නට දරන උත්සහයක් ඇති කළ හැකි විනාශකාරි ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කිරීමක් කල බවක් පෙනෙන්න්ට නැත. කොයි කාගෙන් වුවද ඉල්ලා සිටිය යුත්තේ දිය හැකි දෙයක් මිස “බෙල්ල” වැනි දිය නොහැකි දෙයක් නොවේ.

තරුණ නැගිටීම උච්චම තත්වයකට පත්වූ අවස්ථාවේදී “ගෝඨා ගෙදර පල” යන ඉල්ලීම වෙනුවට රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින තැනකට ගියේ නම් එම ප්‍රතිසංස්කරණ ඉල්ලීම දිනා ගත හැකිවන්නට ඉඩ තිබුණි. නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතියට යටත් තත්වයකට ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයකට ජනාධිපති එකඟ කර ගත හැකි නම් එය සපුරා ගැනීමට පහසු නැති “ගෙදර පල” කියන සටන් පාඨයට වඩා අර්ථවත් නැද්ද? දැන්වත් එම තරුණ පරපුර දිනාගැනීම ඉතා දුෂ්කර, දිනාගත්තත් ඒ වෙනුවෙන් නොවටිනා තරමේ වන්දියක් ගෙවන්නට සිදුවන එම සටන් පාඨය අත් හැර “ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන” ප්‍රතිසංස්කරණ ඉල්ලීම් මාලාවක් ඉදිරියට ගන්නේ නම් එය ප්‍රායෝගිකව දිනාගත හැකි දෙයක් බවට පත් කළ හැකිය. ඔවුන් ගේ ප්‍රබල නැගිටීම රටට යහපත් ප්‍රතිඵල ඇති කළ නැගිටීමක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේද එවිට ය.

වික්ටර් අයිවන්

 

More Stories