” මාතොට නීතිඥඅපි” සංවිධානයේ නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මාතර නීතිඥයන් කණ්ඩායමක් විසින් 2023 ජුලි මස තිස්වන (30)ඉරිදා පෙරවරුවේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කල “ආණ්ඩුව ගෙන එන නව නීති ජනතා යහපත සඳහාද ?..කතිරයේ අපේක්ෂාව හිතුමතයද ? ජනමතයද .?” විද්වත් කථිකාවතේදී මෙම අදහස් උපුල් කුමරප්පෙරැම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්…

මට ලැබී ඇති මාතෘකාවේ කොටස් දෙකක් තිබෙනවා. එකක් අපේ රටේ ඇතිකර ඇති නව නීති ජනතා යහපත සදහාද. අනෙක කතිරයේ අපේක්ෂාව හිතුමතයද ජනමතයද කියන කාරණය. නව නීති නොව රටේ පවතින ඕනෑම නීතියක් රටක සමාජයක් එහෙම නැත්නම් රටේ ජනතාවගේ යහපත සදහා පැනවීම සිදු කරයි. එසේ නීති පනවන විට ඒ නීතිය පනවන අර්ථය විශේෂයෙන් රටේ ව්‍යාවස්ථාදායකය එසේ නැත්නම් පාර්ලිමේන්තුව ඒ නීතිය පැනවීමේ පරමාර්ථය ජනතාව එසේ නැත්නම් සමාජය යම් ආකාරයක යහපත් තැනකට ගෙන ඒම වේ. නමුත් අවාසනාවකට අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න මතු වේ. උදාහරණයක් දැක්වුවහොත් විශේෂයෙන් සාහිත්‍ය වේදීන්ට එහෙම නැත්නම් පුවත්පත් කලා වේදීන්ට, කලාකරුවන්ට පොදුවේ බලපාපු ප්‍රශ්නයක් වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනත (ICCPR)ය. මේ පනත වගන්ති දහයක් පමණ ඇති ඉතා කුඩා පනතක්. මේ පනතේ පූර්විකාවේ සදහන් වන්නේ සිවිල් දේශපාලන අයිතීන් පිලිබඳව විශ්ව ප්‍රකාශන පනත මගින් හදුන්වා දුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් ලංකාවේ නීතිවලට ඇතුලත් නොවූ හෝ අතහැරුනු එවැනි තවත් අයිති වාසිකම් හදුන්වා දීම සදහා මෙම පනත ගෙනැවිත් ඇති බවයි .

එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇති අයිතිවාසිකම්, ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් වල ඇති අයිතිවාසිකම් ඒ වගේම රටේ ජනතාවට බලපාන වෙනත් පනත් වලින් හා වෙනත් නීති වලින් පැනවූ අයිතිවාසිකම් මේ සියල්ල තුලින් අත්හැරි ඇති කරුණු තමා මෙම ICCPR පනත මගින් ගෙන එන්නට කටයුතු කලේ. මෙම පනත ගෙන ඒමේ පරමාර්ථය තමයි රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීම. ඒක තමයි ව්‍යාවස්ථාදායකය අපේක්ෂා කල මුඛ්‍ය පරමාර්ථය. නමුත් සිද්ධ උනේ පනත ගෙනාපු දවසේ සිට හරියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ රටේ විවිධ ප්‍රදේශවල සිටි ක්‍රියාකාරීන්, විවිධ කලාකරුවන් , සාහිත්‍යවේදීන්, සිනමාකරුවන්, මර්ධනය සදහා මේ පනත යොදාගැනීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගත්තොත් එහි සදහන් වන රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කලයුතුය, රාජ්‍ය ආරක්ෂාවට හානියක් සිදු නොවිය යුතුය. ඒවා අපි කවුරුත් පිලිගන්න දේවල්. හැබැයි රාජ්‍ය ආරක්ෂාව කියලා ආණ්ඩුව අදහස් කරන දේ තමයි අපි බලන්න ඕන. දැන් අළුත් ප්‍රතිත්‍රස්ත පනතේ තියෙනවා සෞඛ්‍ය සේවයට හෝ වෙනත් අත්‍යාවශ්‍යය සේවයකට හානිකරන කිසියම් ආකාරයක කටයුත්තක් සිදු වේ නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සදහන් වේ. එතකොට සෞඛ්‍ය සේවයේ යම් වේලාවකදී වැඩ වර්ජනයක් කරන්නට තීරණය කලහොත් සෞඛ්‍ය සේවයේ බිඳවැටීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. නමුත් ප්‍රතිත්‍රස්ත පනතෙන් එවැනි දෙයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථදක්වා ඇත.
දැන් මෙතන තමා භයානක. ත්‍රස්තවාදය කියන එක කුමක්ද කියා දන්නේ නැති එක. කලාකෘතියක් කියන එක කුමක්ද කියා දන්නේ නැති කලාකරුවාගේ මනසේ බිහිවූ දෙය ප්‍රකාශ කලාම ඒ දේ අර්ථය හරි හැටි හදුනන්නේ නැති, මේ සියල්ල දන්නේ නැති ලංකාවේ පොලීසිය තීරණය කරණවා මේ කලා කෘතිය මේ රටේ යම් නිශ්චිත ආගමකට විරුද්ධයි යම් සංස්කෘතියකට විරුද්ධයි, එහෙම නැත්නම් රටේ ඉතිහාසයට පටහැනියි. මේ විදියට තීන්දු කරලා උසාවියට ඉදිරිපත් කරනවා.

ඉතිං කවුද මේ තීරණය කරන්නේ. මුලින්ම පොලීසිය ඊටත් පස්සේ විනිසුරුවරුන්. දැන් මේ දෙන්නටම පුළුවන්ද මේ ගැන හරියටම තීරණයක් දෙන්න. උදාහරණයක් ගත්තොත් මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ බවතරණය නව කථාව. බවතරණයට විරුද්ධව ඉතා විශාල පොතක් පවා මුද්‍රණය වී තිබෙනවා. “බවතරණ මග සහ ලංකාවේ බුද්ධාගම” නමින්, බවතරණයේ කථා කරන්නේ සිද්ධාර්ථ කියන චරිතය ගැන. ඒ පොතේ එක තැනක සදහන් වෙනවා අමු සොහොනෙහිදී සොහොන් පල්ලාගේ භාර්යාව සිද්ධාර්ථ කුමාරයා ගේ අතින් අල්ලාගන්නා අවස්ථාවක්. මෙන්න මේ වගේ කොටස් විශාල සංඛ්‍යාවක් මේ පොතේ ඇතුලත්ව තියෙනවා. ICCPR පනත වගේ එකක් එදා තිබුනේ නම් මාටින් වික්‍රමසිංහ මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවේ. මේ කලාවේ කලාකරුවාගේ පරිකල්පනය මොකක්ද කියන එක පොලිස් ඇහැකින් නිගමනය කලහැකිද.එහෙම තීරණය කරන්න බෑ.ඒ නිසා තමයි ICCPR නීතිය සම්බන්ධයෙන් කියවීමේදී රබත් මූලධර්ම ලෙස හැදින්වෙන විමර්ශන මූලධර්ම කිහිපයක් 2011 දී පමණ හදුන්වා දී ඇත්තේ. ඒ අනුව ICCPR ජත්‍යන්තර ප්‍රඥාප්තියේ 19 සහ 20 වගන්ති වැදගත් වේ.19 සදහන් වන්නේ අපේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම. එය අනිවාර්යයෙන්ම විය යුතු දෙයකි. 20 සදහන් වන්නේ යුද්ධය සම්බන්ධයෙන් හෝ ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නොකල යුතුය යන්නයි.

හැබැයි අපේ රටේ පාවිච්චි වෙන ICCPR පනතේ ඇත්තේ එක කොටසක්. අනෙක් කොටස නෑ. යුද්ධය සම්බන්ධයෙන් හෝ ජාතීන් අතර සංහිඳියාව නැතිවන ආකාරයේ ආගමික ප්‍රචන්ඩත්වය ඇති වන ආකාරයේ ප්‍රකාශ කරන්න බෑ. නමුත් අපි අනිත් කොටස ගන්නේ නෑ ඒක අපට යාකරගන්න බෑ. ඒක නිසා මේ වගේ තත්වයක් පාලනය කරන්න තමා රබාත් නමින් ක්‍රියාකාරී සැලැස්මක් ගෙන ආවේ. ICCPR පනතේ විශ්ව ප්‍රකාශනයේ විසිවෙනි වගන්තියට අදාලවූ කරුණු පිලිබඳව පරීක්ෂණයක් කලයුතුය. කිසියම් කථාවක් ගැන බලනවා නං කවුද මේ කථාව කරන්නේ, ඒ කථාව සන්දර්භය මොකක්ද, මේ කථාව කා වෙනුවෙන්ද කරන්නේ, ඒ කථාවේ අදාල කොටස නිසා ප්‍රකෝපකාරී තත්ත්වයට පත් වූවාද. ඒ කථාව නිසා ඉදිරියට සමාජය තුල අත්‍යාසන්න තත්වයක් ඇති වූවාද, ආදි වශයෙන් ඒ පිලිබඳව පරීක්ෂණයක් පැවත්වීම, ඒ පනත යටතේ විමර්ශනයක් කිරීමේදී සිදු කල යුතුය. නමුත් ලංකාවේ එය සිදු වන්නේ නැහැ.
ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ රබාත් මූලධර්මය යොදා ගෙන පරීක්ෂණ සිදු කරණා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. උදාහරණයක් හැටියට මේ මොහොතේ මම වෛරී ප්‍රකාශයක් කරනවා යැයි සිතමු. . හැබැයි මගේ ප්‍රකාශනයෙන් ඔබ ප්‍රකෝපකාරී විය යුතු අතර, මගේ ප්‍රකාශය ඔබ ප්‍රකෝපකාරී වී වෙනත් ඉලක්කයකට යොමු කරන ආකාරයේ ප්‍රකාශයක් විය යුතුය. ඔන්න ඔය කරුණ තම රබාත් මූලධර්මයේ සදහන් වන්නේ. මම මෙතනදි කුමන හෝ ප්‍රකාශයක් කල පමණින් සහ එයින් ඔබ ප්‍රකෝප නොවුනහොත් ඔබ මගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුන්වැනි පාර්ශවයක් වෙත මුදා නොහැරියොත් අපරාධයක් නොවේ. නමුත් අපේ රටේ මේ නීතිය, නීතියට සම්බන්ධ ආයතන මේවා පාවිච්චි කරන්නේ නෑ .

මාද ඉදිරිපත් වූ තරිදු උඩුවරගෙදර නඩුවේදී,,, ඔහුට තිබූ චෝදනාව වුයේ පසු ගිය ජුලි 23 පැවති 1983 කළු ජුලියේදී මියගිය ජනතාව සිහි ගැන්වීමේ විශේෂ සමරු වැඩ සටහනකදී තරිදු විසින් ඩෑන් ප්‍රියසාද්ට මරණීය තර්ජන එල්ලකල බව පොලීසිය විසින් උසාවියට වාර්තා කර තිබුනා. මේ වගේ දේවල් මොහු මීට කලින් ද සිදුකර තිබුනා. නමුත් සත්‍යය වූයේ ඩෑන් විසින් තරිදුට බාධාකර තිබීමයි. ඒ ආකාරයෙන් තමා පොලීසියේ හැසිරීම.

මේ විදියට බලන කල නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලීසිය,අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම, ඒ වගේම අධිකරණය, අධිකරණ නිලධාරීන් හා නීතිඥයන්ට ද මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇත.
දැන් මේ මෑතකදී අධිකරණයට අපහාස කිරීම පිලිබඳව යම් නීති කෙටුම්පතක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිලිබඳව සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා. මම මේවා පිලිබඳව අදාල වු අදහසක් උසාවියේ එක්තරා නඩුවකදී පැවසුවා. උසාවියට කමීසය උඩින් දමා එන මිනිසුන්ගේ කමීසය යට කරාට.. කමීස බොත්තම් ඇරගෙන එන මිනිහාගේ උඩම බොත්තම තෙක් දම්මාට,ඒ මිනිසුන් තුළ උසාවිය ගැන ගෞරවයක් ඇති වෙන්නේ නෑ. උසාවිය ගැන ගෞරවයක් ඇතිවීමට නං උසාවියේ සමස්ථ ක්‍රියාවලිය ගැනම මිනිසුන්ට විශ්වාසයක් ගොඩ නැගී තිබිය යුතුය.

මිනිස්සුන්ට පොලීසියකට ගියාම ඒ පොලීසියෙන් ඇත්තටම යුක්තියක ඉටුවේද නැද්ද කියන එක, විමර්ශන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධවෙයිද..? කාගේ හරි බලපෑමක් සිදුවේද යන සැක මතු නොවන ලෙස පොලීසිය කටයුතු කරන්නේ නැත්නම් පොලීසියට ජනතා ගෞරවය හිමි වන්නේ නෑ. ඒ වගේම නීතිඥයෙක් වෙත ගිය මිනිසෙකුට,මෙයා ඒ පාර්ශවයයි මේ පාර්ශවයයි දෙකම අල්ලාගෙන කටයුතු කරන බවක් වැටහේ නම් ඒ මිනිසාට ඒ ක්‍රමය ගැන විශ්වාසයක් ඇති වෙන්නෙත් නෑ.උසාවියේ නඩු කල් යයි නම්. සමාන විදියට සලකා සමාන විදියට තීන්දු නොලැබේ නම් මේ ක්‍රමය ගැන කිසිදු විශ්වාසයක් ඇති වෙන්නේ නෑ.

උපුටා ගැනීම වජිර පූජිත ගුණවර්ධන FB පිටුවෙන්..

 

24 sinhala news

Similar Posts