ජනාධිපතිවරයා ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය තමා ළඟ තියාගත්තා…

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍යවරුන් පත් කරන්න පුළුවන්කම තිබුණු නමුත් ජනාධිපතිවරයාටත් තමන් වෙත අමාත්‍යධුර පවරන්න පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එම ප්‍රතිපාදන ඉවත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ඇමතිවරුන් පත් කරගන්න පුළුවන් බව කීවා. එතකොට ඇමතිධුරයකට පත්වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණයි.

එහෙත් 19 වැනි සංශෝධනයේ තාවකාලික විධිවිධානයක් තිබුණා, එම සංශෝධනය සම්මත වූ මොහොතේ ධුරයේ ඉන්න ජනාධිපතිවරයා හෙවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ ඉන්නතුරු ඔහුට ආරක්ෂක, පරිසර සහ මහවැලි කියන අමාත්‍යාංශ තුන දරාගන්න පුළුවන් බව. ඒකෙන් තේරෙනවා ඒ අමාත්‍යාංශ තුන වුණත් දරන්න පුළුවන්කම තිබුණේ එතුමා ධුර කාලයේ සිටිනතුරු විතරක් බව. ඊට පස්සේ ජනාධිපති කෙනෙකුට ආරක්ෂක අමාත්‍යධුරය වුණත් දරන්න බැරි බව ව්‍යවස්ථාවෙන් හොඳටම පේනවා. එහෙම නැත්නම්, ඒක විතරක් ඒ කාලයට දරන්න පුළුවන් කියන විශේෂ විධිවිධානය නැහැනේ. ඒ අනුව අමාත්‍යධුරයක් තබාගැනීම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

ජනාධිපතිවරයෙකු ඒ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මොනතරම් ගැඹුරින් දැකිය යුතු තත්වයක්ද?

අපේ රටේ විවිධ පුරවැසියන් ඒක ගැන සලකන විදිය වෙනස්. සමහර  අය හිතනවා ඒක කමක් නැහැ කියලා. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කියන මතයේ ඉන්න පුද්ගලයනුත් ඇති. ඒත් මම දකින විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ පුරවැසියන් ආරක්ෂා කරන්න. ආණ්ඩු බලය හොබවන අය ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පාලකයන්ගේ බලය නෙවෙයි, පුරවැසි අපේ බලය. අපි වෙනුවෙන් බලය පාවිච්චි කරන්නයි ඡන්දය දෙන්නේ. ඒ බලය පාවිච්චි කරනවානම්, ව්‍යවස්ථානුකූලව කරන්න ඕනෑ.

වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් සමාජයේ තවත් එක් පුවතක් වන, එදිනෙදා දෙයක් බවට පත්වීම සුදුසුද? මෙ

අපි ඒක එදිනෙදා දෙයක් වෙන්නට ඉඩ දෙන්න හොඳ නෑ. එහෙම දෙයක් වෙනවානම්, ඒ ඉඩ ප්‍රස්ථාව ජනතාව තමයි ලබාදෙන්නේ. ඒක ජනතාව පැත්තෙන් කරන වරදක්. මේක සුළුදෙයක්, එයාම පත්කරන නිසා එයා තියාගත්තාම මොකද වගේ අදහස් ඇතිව නිහඬව හිටියොත් වැරදියි. යම් විධිවිධානයක් තියෙන්නේ, ඒක ක්‍රියාත්මක කරන්න ඕනෑ නිසානේ.

දැන් ආණ්ඩුවට තුනෙන් දෙකකුත් තියෙන නිසා, මහජනතාව ආණ්ඩුවට සහයෝගය දෙන නිසා, එයාලාට ඕනෑ එකක් කරපුවාවේ කියලා කල්පනා කරලා විපාක්ෂික ක්‍රියාකාරීන් නිහඬව හිටියොත්..

ආණ්ඩුවට බලය දුන්නාට, මේ වගේ දෙයක් කරන්න අනුමැතිය දීලා නෑ. ආණ්ඩුවට දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව කරන්නට ආණ්ඩු බලය. පාර්ලිමේන්තුව වැඩ කරන්න ඕනෑ ව්‍යවස්ථාවට අනුකූලව. බලය දුන්නේත් ව්‍යවස්ථාවට අනුකූලව පවත්වපු මැතිවරණයකදී. බලය තියෙන නිසා ඕනෑ විදියකට කරන්න නෙවෙයි ඉඩ දීලා තියෙන්නේ. ව්‍යවස්ථාවට පිටින් ඉඩම් අත්පත් කරගන්න, වෙනත් දේවල් කරන්න අවසර ලැබෙන්නේ නැහැ. හදිසියේවත් යම් ව්‍යවස්ථා විධිවිධානයක් ගැලපෙන්නේ නැත්නම්, නියමිත ක්‍රමවේදය අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යම් විධිවිධානයක් තියෙන තාක්කල් ඒක උල්ලංඝනය කරන්න බෑ. තුනෙන් දෙකක් නෙවෙයි, රටේ සීයට අනූනවයක් ඡන්ද දුන්නත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න අවසර ලැබෙන්නේ නෑ.

ජාතික ආරක්ෂාව ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබීම යහපත් බව සමහරු හිතනවා ඇති..

කිසි ප්‍රශ්නයක් නැහැනේ ජනාධිපතිවරයාට පුළුවන් ආරක්ෂාව කියන විෂයට අමාත්‍යවරයෙක්ව පත් කරන්න. ඒකෙන් හානියක් සිද්ධවෙන්නේ නැහැනේ. දහනවවැනි සංශෝධනයට කලින් ආරක්ෂක අමාත්‍යාංශය තමන් යටතේ තබාගැනීමේ හැකියාව තිබියදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ නැතිව, වෙනත් ඇමතිවරයෙක්ව පත් කරලා හිටියා. ඇයට පුළුවන්කම තිබියදී ඒ විදිය ඇමතිවරයෙක් පත්කළා. එහෙම වුණ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වුණේ නැහැ.

දහනවවැනි සංශෝධනය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන නිසා, ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය තබාගත් බව ඇතැම් අය සමාජ මාධ්‍යවල කියා තිබුණා…

නුදුරේදී එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට තියෙනවා වෙන්න පුළුවන්. නිත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා, ඊට පස්සේ ජනාධිපතිවරයා අමාත්‍යාංශයක් ලඟ තබාගන්නවානම් ඒක එකක්. එහෙත් දහනවවැනි සංශෝධනය තිබියදී, ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන එක ඊට වඩා වෙනස් තත්වයක්. එහෙම කරන එක වැරදියි.

ජනාධිපතිවරයා බලයට පත්ව, මහමැතිවරණය දක්වාම ආරක්ෂක ඇමතිවරයෙක් නැතිව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයෙක් පමණක් පත් කරලා නිල නොවන ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ තබාගෙන හිටියා. කවුරුත් ඒක අභියෝගයට ලක් කළේ නැහැ නේද?

ඒ වෙලාවේ ආණ්ඩුව පත්වෙලා කෙටි කාලසීමාවක් වන නිසාත්, කොරෝනා වසංගතය ඇතුළු වෙනත් පසුබිමක් තිබීමත් එක්ක ඒක අභියෝගයට ලක්වෙලා නැතිව ඇති. එහෙත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් හරිහැටි අමාත්‍යවරයෙක් පත් කිරීම වගකීමක්.

හදිසියේවත් ජනාධිපතිවරයා අමාත්‍යාංශයක් ළඟ තබාගැනීම අභියෝග කරමින් යමෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළොත්, ඒ පෙත්සම විභාග වෙලා අවසන් වෙන්නත් කලින් ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට ඉඩ තියේවිද?

ඒ තරම් වේගයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් කරලා, ගැසට් පත්‍රයේ පළකරන්න ඕනෑ. සති දෙකකට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. මේ ගැන විරෝධතාවක් තියෙන ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට කාලසීමාවක් ලැබෙනවා. ඒ තීන්දුව එනතුරු ඉන්න ඕනෑ. එම සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කීවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අරගෙන ජනමත විචාරණයකට යන්නත් ඕනෑ. ආණ්ඩුව ගෙනෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් අනිවාර්යයෙන් ජනමත විචාරණයක් ඕනෑ. ගෙනෙන්නේ සංශෝධනයක් නම්, ජනමතවිචාරණයක් අවශ්‍ය නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය කීවොත්, විවාද කරලා තුනෙන් දෙකක අනුමැතියක් ගන්න ඕනෑ. ඒ නිසා, අපි අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන නිසා දැන් ඉඳන්ම ඒ ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ නැති විදියට සලකමින් කටයුතු කරන බවට තර්ක කරන්න බෑ.

ආණ්ඩුව ගෙනෙන සංශෝධනයේ ඇත්තේ මොනවාදැයි අනුමාන කරන්න පුළුවන්ද?

අනුමාන කරන්න අමාරුයි. ඇතැම් අය කියනවා 19 අහෝසි කරනවා කියලා. එතකොට තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අහෝසි කරනවාද කියන එක ප්‍රශ්නයක්. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරනවාද. එතකොට මොනවාද අහෝසි කරන කාරණා. මොනවාද කරන්නේ කියලා පැහැදිලිකමක් නෑ. මා නිවැරදි නම් මහාචාර්ය ජී.ඇල්. පීරිස් කියලා තිබුණා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්නේ නැති බව. එතකොට ඒ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා තිබෙන ව්‍යවස්ථාදායක සභාව ඉවත් කරනවාද? නැද්ද? ඒ වගේ කාරණා කියන්නේ නෑ. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබුණා. ඒක පාර්ලිමේන්තුවේ හැමෝගේම පාහේ ඡන්දයෙන් සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයක්. 19 වැනි සංශෝධනයටත් විරුද්ධව ඡන්දය දුන්නේ එක්කෙනෙක් විතරයි.

ඒ අනුව මේ ආණ්ඩුවේ නායකයන් අත උස්සපු සංශෝධනය තමයි වෙනස් කරන්න යන්නේ..

එදා 19 වැනි සංශෝධනය හොඳයි කියපු අයම දැන් ඒක නරක බව කියන්නේ ඇයිද කියලා පැහැදිලිකමක් නෑ. දහනවවැනි සංශෝධනය කියන්නේ පුළුල් සංශෝධනයක්. ජනාධිපතිවරයාගේ ධුර කාලය නැවත අවුරුදු දෙකකට සීමා කිරීම, පාර්ලිමේන්තුවේ අවසරය නැතිව අවුරුදු හතරහමාරක් දක්වා විසුරවාහැරිය නොහැකි බව, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් වීම, ඉහළ ආයතනවලට පත්කිරීම සඳහා ස්වාධීන ක්‍රමවේද හැදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් බිහිවීම, ජනාධිපතිවරයාගේ මුක්තිය අඩු කිරීම වගේ ප්‍රතිපාදන තියෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ජනාධිපතිවරයා අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. වෙනස් කරන්නේ මොන කොටසද කියලා නිශ්චිතව කියලා නෑ.

දහනවවැනි සංශෝධනයට විරුද්ධ වූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගැනීමත්, 19 අහෝසි කරන බව කියා තිබියදී තුනෙන් දෙකක බලයක් ලැබීමත් නිසා දහනවයට එරෙහි ජනමතයක් තියෙන බව කල්පනා කළ හැකිද?

ඒ ඡන්ද සංඛ්‍යාව බලලා, ඒක දහනවවැනි සංශෝධනයට අප්‍රසාදයක් තිබීමක් ලෙස විස්තර කරන්න අමාරුයි. දහනවවැනි සංශෝධනය මැතිවරණ වේදිකාවේ තිබුණ ප්‍රධාන කාරණයක් නෙවෙයි. අනෙක ආණ්ඩුව පැත්තෙන් හැර අනෙක් පක්ෂවලිනුත් ඒ කාරණය ගැන වැඩි වුවමනාවක් තිබුණේ නෑ. දහනවවැනි සංශෝධනය වෙනස් කරන බව ආණ්ඩුවෙන් කී බව ඇත්ත. එය ආරක්ෂා කළ යුතු බව විපක්ෂයේ අය කී බවත් ඇත්ත. එහෙත් ඒක ප්‍රධාන තේමාවක් නෙවෙයි. කොවිඞ් වසංගතය, කොවිඞ් වසංගතයෙන් පසු ආර්ථිකය හැසිරවීම වගේ නොයෙකුත් කාරණා මැතිවරණයේ තේමා විදියට තිබුණා. ජනතාව දහනවවැනි සංශෝධනයට කැමති නැති බව උපකල්පනය කළත්, මොන කොටසකද කැමති නැත්තේ කියලා කියන්න බැහැනේ. මම කලින් කීවා වගේ දහනවවැනි සංශෝධනයේ කොටස් ගණනාවක් තියෙනවා. මීට කලින් දශක ගණනක් තිස්සේ ජනතාව ඡන්දය දුන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි බව කියපු අයට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව හෝ බලතල අඩු කරන බව පොරොන්දු වුණ අයට තමයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ අනුව ජනතාව කාලයක් තිස්සේ ජනාධිපතිගේ බලතල අඩු කරන්න කැමැත්තෙන් හිටියා. එක මැතිවරණයකින් කිසිම නිගමනයකට එන්න බෑ මේ ගැන. ආණ්ඩුවට අවශ්‍ය නම්, තුනෙන් දෙකක් තියෙන නිසා ජනමතවිචාරණයකට ගිහින් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.

දහනවවැනි සංශෝධනයේ රටට අහිතකර කොටස් අහෝසි කරන බව ඔවුන් කියනවා. ඔවුන් හිතනවා ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම රටට අහිතකර බව විය හැකියි…

මම ඒ අර්ථනිරූපණයට එකඟ නෑ. අපි රට කියන එකෙන් අදහස් කරන්නේ රටේ ජීවත්වන පුරවැසියන්. එක පුද්ගලයෙක්ට බලය තියෙන එක නෙවෙයි රටට හිතකර. බලය අධික වූ විට එය අවභාවිත කරන්න අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ නැහැ අහවල් පුද්ගලයා ඒ විදියට කරයි කියලා. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, ජනතා පරමාධිපත්‍යය ජනතාවට ක්‍රියාත්මක කළ නොහැකි නිසා භාරයක් වශයෙන් ක්‍රියා කරන්න ව්‍යවස්ථාව සමාජ ගිවිසුමක්. විධායක බලය මෙසේ කළ යුතුයි, ව්‍යවස්ථාදායක බලය මෙසේ කළ යුතුයි, අධිකරණ බලය මෙසේ කළ යුතුයි කියලා එහි සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් කියන්නේ පුරවැසියන් දෙන බලය පුරවැසියන්ට විරුද්ධව පාවිච්චි කරන්නත් බැරි විදියට විධිවිධාන හදාගන්නවා කියලා. අපේ බලයෙන් හානියක් වෙනවානම් ඒක නොවෙන්නට විධිවිධාන යොදනවා. බලය කේන්ද්‍රීය වෙන තරමට ඒක අයුතු ලෙස පාවිච්චි කිරීමේ අවස්ථාව වැඩිවෙනවා. රාජ්‍ය බලය කියලා කියන්නේ ජනතාවගේ බලය. රාජ්‍යය කියලා හදාගත්ත සංකල්පයෙන් ජනතාවට පීඩාවක් වෙන්න ඉඩ තියන්න බැහැ.

ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයන්ව තනතුරුවලට පත් කරන්න නොහැකි වීම, පාලනය අසීරු කරන බව හිතනවාද?

ඇයි තමන්ට ඕනෑ කෙනෙක්ම පත් කරන්නේ. තමන්ට අවශ්‍ය විදියට කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇතිව, තමන් කැමති විදියට කටයුතු කරන කෙනෙක් කියලා හිතාගෙන පත්කිරීම් කරන්න අවස්ථාව ලැබෙනවානම්, ස්වාධීන කොමිෂන් සභා මොකටද. ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා වන තරමට ඒ කොමිෂන් සභා ජනතාව වෙනුවෙන් පෙනී සිටීමත් වැඩියි. ඒ නිසයි ජනාධිපතිවරයාට ඒ බලය තනියම තියෙන්න ඕනෑ නැති බව කියන්නේ. 17 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ආවා. එහෙත් දහඅටවැනි සංශෝධනයෙන් ඉවත් කළා. දහනවවැනි සංශෝධනයෙන් නැවත ඒක ක්‍රියාත්මක කළා. හැමෝම ඒකට එකඟ වුණා.

මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමත් එකඟ වුණා නේද?

ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එහෙත් ඔවුන් පවා මේකට කැමති වුණා. පක්ෂ, ජාති, ආගම්, මතවාද භේදයක් නැතිව හැමෝම පාහේ දහනවවැනි සංශෝධනයට කැමති වුණා. විශේෂයෙන්ම සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් තිබුණ සිවිල් සමාජ සංවිධාන පවා පාර්ලිමේන්තුවෙන් පිට දහනවවැනි සංශෝධනය වෙනුවෙන් උද්ඝෝෂණ කළා. එදා විපක්ෂයේ සිටියදී දහනවවැනි සංශෝධනය ඕනෑ බවත්, තුලන හා සංවරණ ක්‍රම ඕනෑ බවත් කීවා. එහෙත් ආණ්ඩුවට ආවාම ඒවා ඕනෑ නැති බව කීම ඒක ප්‍රජාතන්ත්‍රවාදය දක්වන ආකල්පය කියලයි කියන්න වෙන්නේ.

දහනවවැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ දහඅට ආරක්ෂා කරන්න කියන ඉල්ලීමත්, දහනවය රටට විනාශයක් බවත් පෙන්වපු බහුජන ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැහැ..

ඒකෙන් වැටහෙන්නේ, බලය තියෙනකොට ඕනෑ දහඅට. විපක්ෂයේ ඉන්න වෙලාවට දහනවය හොඳයි. අපි කරනකොට තුලන හා සංවරණ නැතිව කරමු, වෙන පිරිසක් ආණ්ඩුව කරනකොට තුලන හා සංවරණ තියාගමු කියන මතවාදය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුදුසු නැහැ.

දහනවවැනි සංශෝධනය අහෝසි කරන්නට අවශ්‍ය ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තියෙන පසුබිමක, ජනතාවගේ පැත්තෙන් කළ හැක්කේ කුමක්ද?

මම කලිනුත් කීවේ ඒකයි. මේ මැතිවරණය පැවැත්වුවේ පාර්ලිමේන්තුවට මැතිවරණය පත් කරන්න. ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම සටන්පාඨය විදියට දහනවය අහෝසි කරන බව කීවේ නැහැ. සමහර අයගේ මැතිවරණ වේදිකාවල පමණක් කීවා ව්‍යවස්ථාවක් ගේන බව.

ලිඛිත ප්‍රකාශනයක්වත් තිබුණේ නැහැ..

ඒක තමයි. සමහරු කීවා දහනවය නිසා රට අස්ථාවර වුණා වගේ දේවල්. ඒත් රට අස්ථාවර වුණේ කොහොමද කියලා කීවේ නෑ. සිද්ධවුණ බව කියන හානිය මොකක්ද කියලා සාකච්ඡා කළේත් නෑ. ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කළේත් නෑ. ඒ නිසා, ඒ මාතෘකාව ගැන වෙන විවාදයක් පවත්වන්න ඕනෑ. ජාතික ආරක්ෂාව, ආර්ථිකය වගේ ගොඩක් අස්සේ සුළුවෙන් දහනවය අහෝසි කිරීම තිබුණා. ඒ නිසා ඡන්දය පාවිච්චි කරපු හැමෝම දහනවය අහෝසි කරන්න ඡන්දය දුන් බව කියන්න බැහැ. යම් කෙනෙක් හිතනවා ඇති, මේ අය බලයේ ඉන්න ඕනෑ බව. එහෙත් ඡන්දය දීපු හැම පුද්ගලයාම සංවරණ හා තුලන බලයට අකැමැත්තෙන් ඡන්දය දුන්නා කියලා මම හිතන්නේ නෑ. මිනිසුන් තමන්ට ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම් අහිමි කරනවාට කැමැත්තෙන් ඡන්දය දුන් බව හිතන්නේ කොහොමද. එයාලා මොනවාහරි හේතු නිසා ආණ්ඩු බලය දෙන්න හිතන්න ඇති.

තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි වූ බව හිතමු. කවුරුහරි ළමයෙක් ඉස්කෝලෙට දානවා. ඒකෙදී අසාධාරණයක් වුණානම් ඒ ගැන දැනගන්නට තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා තොරතුරු ඉල්ලුම්පතක් දාලා ඉස්කෝලෙට ළමයි බඳවාගත්ත විදිය ගැන දැනගන්න පුළුවන්. ගමේ පාලමක් බාල විදියට හදලානම්, තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා ඒක දැනගන්න පුළුවන්. තමන්ට තොරතුරු දැනගන්නට තියෙන ඒ අයිතිය අහිමි කරගන්න පුරවැසියන් කැමති බව මම හිතන්නේ නැහැ.■

තරිඳු උඩුවරගෙදර – උපුටා ගැනීම රාවය

Similar Posts