esana news

වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ වැද්දන්ට සිය නිජබිම් හැර යෑමට සිදුවූයේ විවෘත ආර්ථිකය සමග මෙරට වෙලාගත් සංවර්ධනයේ අරුණලු හේතුවෙනි. එකී අරුණැල්ල වැද්දන්ගේ සංස්කෘතිය ජීවන මාර්ග හා නිජබිම් පුළුස්සා දැමූ ගිනිදැල්ලක් වූවා මිසක කිසිවිටෙක ඔවුන්ගේ ජීවිතවලට ආලෝකය උදාකර නොදුන්නේය. ඔවුන්ගේ ජීවිත සංවර්ධනයේ අරුණැල්ල නිසා හටගත් ගිනි දලු වලින් වැසී තිබේ.

හිතුමනාපයේ මංගැච්චු රුකුල් පොජ්ජවල් අභය භූමි හා වනෝද්‍යාන බවට පත්ව 80 දශකයේ දී වැද්දන් ඒ බිමෙන් බලහත්කාරයෙන් පන්නා දැමීමත් සමග අන්ධකාරය ක්‍රමාණුකූලව වැදි ජන දිවියට ඇතුළු වන්නට වූහ. මේ නිසා ඇතැමුන්ට දඩයම හා පැණි කැඩීම තහනම්ව ගියේය. දඩයම හා බැඳී තිබූ බොහෝ සංස්කෘතික යුතුකම් ද නෑ යකුන් පිදුම වැනි කාරීන් ද අත්හැරී ගියේ කාලයක් පුරාවට ඒවා ඉටු කළ වනාන්තර තුළට වැදීම ආණ්ඩුවේ මහත්තැන් විසින් නීති හා අණ පනත් මගින් තහනම් කිරීම හේතුවෙනි.

මේ නිසාම සිය ජීවිකාව ගෙන යෑමට බොහෝ දෑ කිරීමට වැද්දන්ට සිදුව තිබේ. දිඹුලාගල, දලුකාන තරුණ වැදි නායකයා ජීවත්වීමට කොන්ක්‍රීට් අනයි. ඔහුගේ රැහේ සෙසු තරුණයන් ද ජීවත්වීමේ අරගලය තුළ කුලී වැඩ කරති. පරම්පරා ගණනාවක් ජීවත්වූ දිඹුලාගල මහ වනයේ ගල් ලෙන් බුදු පුතුනට පූජා කොට පාරම්පරික ගල්ගෙය මෙන්ම සිය බඩවියතද අහිමි කරගෙන කඳු බැසි මේ මිනිස් ගජ්ජෝ ජීවත්ව සිටිත්දෝ කුමක් කරද්දෝ කොහි ඇත්දෝ යන්න කිසිවකු සොයා නොබැලීම හේතුවෙන් බොහෝ අසරණව දිවි ගෙවති.

ආණ්ඩුවේ වගකිව යුත්තන් සිය වගකීම් පැහැර හැරීම නිසා දරිද්‍රතාවයේ ගොදුරක් බවට පත්ව ඇති වැදි ජනයා වෙලා ගැනීමට දශකයකට පෙර හතු පිපෙන්නාක් මෙන් මෙරට පිපී ගිය ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ද ඉව අල්ලනුයේ සතුටිනි. වැදි ජනයා සොයා ඈත නියම්ගම් තුළට වැදිීඇති මෙම සමාගම් සිය රාජකාරිය යුහුසුළුව අරඹා තිබේ. මළපොතෙහි අකුරක් බැරි වැදි ජනයා සිය පහසු ගොදුරක් බවට පත්කර ගෙන ඇති මෙම සමාගම් හෙනිනාගල, අම්පාර- පොල්ලෙබැද්ද, ගල්වල යාය හා දිඹුලාගල – දලුකාන වැදි ජනයා උපක්‍රමශීලී අයුරින් සිය ණය උගුලෙහි ගොදුරක් බවට පත්කර ගෙන ඇති අයුරු පෙනීයයි.

රක්ෂිත වනාන්තර තුළට වැද්දන්ට පිවිසීම තහනම් වීමත්, වගා කිරීමට කුඹුරු ඉඩම් නොමැති කමත් නිසා මේ වැදි ජනයා බොහෝ අසරණව ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටිති. පැණි කැඩීමට හා කටු අල හෑරීමට පමණක් කැලෑ වැදීමට යම් ලිහිල් බවක් පැවැතීම ජීවත්වීමට කිසියම් අස්වැසිල්ලක් බැව් ඔවුහු කියති. මේ හේතුවෙන් වගාවක් කෙරුමට හෝ ඉඩමක් නොමැතිකමින් පීඩා විඳින අම්පාර ගල්වලයාය වැදි ගමෙහි කාන්තාවන් රැසක්ම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වල ගොදුරක් ව සිටිති. රුපියල් 30,000 කින් පටන් ගන්නා කණ්ඩායම් ණය ඇතැම් සමාගම් සති වාරික ලෙස අය කරති. ඇතැම් සමාගමක් සිය වාරිකය මාසිකව අය කර ගනිති. කෙසේ වෙතත් අකුරු නොදන්නා මේ මිනිසුන් ඔවුන් පහසුවෙන් ගොදුරු කර ගනුයේ ඔවුන්ගේ ජීවිත වටා දැවටී ඇති දරිද්‍රතාවයේ සෙවනැල්ල හේතුවෙනි.

මෙරට ආදි වාසී වැදි ජනයා ක්ෂුද්‍ර මූල්‍ය නම් බාඳුරා ගොටුවේ ගොදුරක්ව අසරණ වී ඇතැයි පවසන ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ පවසනුයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වසංගතය සාමාන්‍ය ගොවි කම්කරු ජනයා පමණක් නොව මෙරට වැදි ජනයාව ද ආක්‍රමණය කර ඔවුන් දරිද්‍රතාවයේ අන්තයටම හෙලා ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වන සුරංග රූපසිංහ මහතා

“මේක මහා භයානක තත්ත්වයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය අරන් ඒ ණයෙහි අසීමිත පොලිය සමග එන ණය වාරිකය ගෙවා ගන්න බැරි වුණාම දිවි නහගන්නයි වෙන්නෙ. මම දැකපු එක් දෙයක් ණය දෙන ආයතනවලට අවශ්‍ය වන්නේ ණය දෙන්න මිසක් ඒ ණය නැවත අය කර ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවාද කියලා සොයා බලන එක නෙවෙයි. ඒ නිසා මෙරට ගම්වල අන්ත අසරණ ගොවි ධීවර පවුල් ණය උගුලට හිරවෙලා අකාලයේ මියැදී තියෙනවා. ඒ තත්ත්වය දැන් වැදි ජන ජීවිතවලට ද බලපෑම් කිරීම ඛේදජනක තත්ත්වයක් හෙනානිගල, දලුකාන, පොල්ලෙ බැද්ද වැනි වැදි ගම් වල ආදි වාසී කාන්තාවන් ණය උගුලට හිරවෙලා අවසන්. මේ ආදි වාසී ජනයා අකුරු දන්නෙ නැහැ. සරලවම කිව්වොත් අකුරු හඳුනන්නෙ නෑ. ණය ගනිද්දි ගිවිසුම දැකලා නෑ. තියෙන්නෙ මොනවද කියලා දන්නෙ නෑ. නමුත් විශාල ණයක අධික පොලියක ණය කාරයෙක් බවට පත්වෙලා. මේක භයානක තත්ත්වයක් මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට දිළිඳු පවුල් තව තවත් දරිද්‍රතාවයේ අන්ත අගාධයටම වැටී ගිලී යාවි. ඒ නිසා මේ තත්ත්වය වළක්වන්න අපිට ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවා. අපි රජයට පවා බල කරන්නේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙමන වහා පාලනය කරන්න පියවර ගන්න කියන එකයි” යැයි පැවැසීය.

දඩයමින් මී කැඩීමෙන් හා අල හාරමින් ස්වාධීන ජීවන රටාවක ගමන් කරමින් නැගී සිටි මෙරට වැදි පරපුර ද ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වල ගොදුරක් වීම ඛේදජනක තත්ත්වයකි.

ලක්මාල් කේ. බදුගේ

divaina

 

esana news

More Stories