risi-sunak

රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම “ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?” යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ පත්වීම සම්බන්ධයෙන් ලංකාවේ ගොඩක් දෙනා හිතන විදිය නම් කරුණුමය අතින් හොඳටම වැරදිය.

ලංකාව ආගම්වාදී ගෝත්‍රික රටක් බවත් එංගලන්තය එහෙම නොවන බවත් ඔවුන් කියන ප්‍රධානතම කතාවයි. මගේ යහළුවන්ද ඇතුළු කිහිප දෙනෙක්ම, “සිංහල බෞද්ධයෙකුට පමණක් ජනාධිපති විය හැකි යැයි ව්‍යවස්ථාවෙන්ම නියම වී ඇති රටක් වන ලංකාව කෙතරම් පසුගාමී ද?” යන ප්‍රශ්නය පවා අසා තිබුණි.

පළමුවෙන් කිව යුත්තේ ලංකාවේ ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් නැති බවයි. මොකක්දෝ හේතුවක් නිසා අපේ රටේ බොහෝ දෙනෙක් එබඳු වගන්තියක් ව්‍යවස්ථාවේ ඇතැයි සිතති. ලංකාවේ හැම ජනාධිපතිවරණයකට ම පාහේ දෙමළ, මුස්ලිම්, කතෝලික අය අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම ඇස්පනාපිට පෙනෙන්නට තිබියදීත්, මෙබඳු අදහසක් සමාජයේ මේ තරමට පැතිර තිබීම පුදුම සහගතය.

ඇත්තම කතාව වන්නේ ආගම සහ රාජ්‍ය අතර ව්‍යවස්ථානුකූල සම්බන්ධය සැලකුවහොත් ආගමික රාජ්‍යයක් වන්නේ ලංකාව නොව එංගලන්තය ය යන්නයි. ලංකාව යනු ව්‍යවස්ථානුකූලව ගත් විට අනාගමික රාජ්‍යයකි. එංගලන්තය යනු ව්‍යවස්ථාවෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් ලෙස සැලකෙන රාජ්‍යයකි. කොටින්ම 2012 තරම් මෑතක් වන තෙක්ම අන්‍යාගමිකයෙකු ට, විශේෂයෙන්ම කතෝලිකයෙකු ට, ඒ රටේ අගමැති වීමට ප්‍රායෝගික ව්‍යවස්ථාමය හා නෛතික අවහිරයක් තිබිණ. 1688 උත්කෘෂ්ට විප්ලවය, 1689 අයිතිවාසිකම් පනත සහ 1701 නිරාකරණ පනත ආදියෙන් සිදු වූයේ එංගලන්තයේ කතෝලිකයෙකු ට රජු හා එනයින්ම අගමැති වීමේ අවස්ථාව අහිමි කර දැමීමය.

බ්‍රිතාන්‍යය තුළ කතෝලිකයෙකු ලෙස උපන් අයෙකු හෝ අගමැති වී ඇත්තේ එක ම එක් අවස්ථාවක පමණකි. ඒ බොරිස් ජොන්සන් ය. නමුත් ඔහු පාසල් කාලයේදීම ඇංග්ලිකන් ආගම වැළඳ ගෙන තිබුණි. මගේ මතකය නිවැරදි නම් ටෝනි බ්ලෙයාර් අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසුව තම බිරිඳගේ ආගම වූ කතෝලික ආගම වැළඳ ගත්තේය. ඔහු හදවතින් කතෝලිකයෙකු වී සිටියත් අගමැති ධුරයේ සිටියදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශ නොකළේ පෙර කී ව්‍යවස්ථාමය බාධාව තිබූ නිසාය. (මේ මගේ මතකයයයි. වැරදි වෙන්නට සුළු ඉඩක් තිබේ. කෙසේ නමුත් ඔහු උපතින් ඇන්ග්ලිකන් ආගමිකයෙකි).

ලංකාවේ සිංහල දෙමළ ජනවාර්ගික බෙදීමට සමානව පසුගිය සියවස් හතරක එංගලන්ත ඉතිහාසය පුරා දක්නට ලැබෙන වාර්ගික බෙදීම ලෙස සැලකිය හැක්කේ ඇංග්ලිකන් සහ කතෝලිකයන් අතර ඇති බෙදීමයි. ඒ අනුව ලංකාව සමඟ සංසන්දනය කරන්නට අවශ්‍ය නම් එංගලන්තය සම්බන්ධයෙන් ඇසිය යුතු තාර්කික ප්‍රශ්නය වන්නේ එංගලන්තයේ කතෝලිකයකු ට අගමැති වීමට මෙතෙක් නො හැකි වී ඇත්තේ ඇයි ද යන්නයි.

හින්දු භක්තිකයෙකු වීම මගින් යමෙක් මේ ඓතිහාසික ගැටුමේ පාර්ශ්වකරුවෙකු වන්නේ නැත. රිෂි සුනාක් මේ තනතුරට පත් වූයේ ඔහුගේ සුපැහැදිලි කොන්සර්වේටිව් CV එක නිසාය. ඉහළම ප්‍රභූන්ගේ පාසලක අධ්‍යාපනය ලැබූ, ප්‍රකෝටිපතියකු වන සුනාක් දෘෂ්ටිවාදීමය වශයෙන් ගත් කල හොඳම කොන්සර්වේටිව්වාදියෙකි. ඔහුගේ ඉන්දියානු මූලය සහ ආගමිකව හින්දු වීම ඇත්තේ අඩියේය. ලංකාවෙන් මීට සමාන උදාහරණයක් දෙන්නැයි කිවහොත් මට මතක් වන්නේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු(පුල්ලේය). ඔවුන්ගේ දකුණු ඉන්දීය මූලය සහ ආගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ සාමාජිකයකුට ප්‍රශ්නයක් වෙනවාද? රිෂි සුනාක්ගේ ආගම හා ඉන්දීය මූලය ඒ තරමටවත් ප්‍රශ්නයක් නොවන්නේ ඔහු කතෝලිකයෙකුවත්, ඉස්ලාමිකයෙකු වත් නොවන නිසාය.

අනෙක් අතට මෙබඳු තනි සිද්ධීන්ගෙන් සමස්ත සමාජය පිළිබඳ විවරණ දිය නොහැකිය. සිරිමා හා චන්ද්‍රිකා අගමැති හා ජනාධිපති වීම මගින් ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය, කවදාවත් කාන්තාවක් ජනාධිපති වී නැති ඇමරිකාවට වඩා හොඳ යැයි ඔබට කිව හැකිද?

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

aithiya

More Stories