ජනමාධ්‍ය නිදහසට වැටබැඳීමට කිසිදු ආණ්ඩුවකට හෝ කිසිදු දේශපාලනඥයකුට කිසිදු අයිතියක් නොමැති බවත් අපේ රට තුළ එවැන්නක් සිදුකිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“නිදහස් ජනමාධ්‍යය දියුණු සමාජයක ලක්ෂණයක්. නොදියුණු සමාජවල තමයි අපට ජනමාධ්‍ය නිදහස නැතිවෙලා තිබෙන්නෙ. අපි අපේ රටේ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නට ඕනෙ. ජනමාධ්‍ය නිදහස තියෙන තැන ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වෙනවා. ජනමාධ්‍ය නිදහස නොමැති තැන ප්රජාතන්ත්රවාදය නොවෙයි ඒකාධිපතිත්වයක් නිර්මාණයක් වෙනවා. ජනමාධ්‍ය වලට සීමාවන් දමන්න ඕනෙ ජනමාධ්යමයි. ස්වයංවාරණයක්. ආණ්ඩුවලට, දේශපාලනඥයින්ට කිසිම අයිතියක් නෑ මාධ්‍යවල කටවල් වහන්න. නිදහස් මාධ්‍යයේත් වගකීමක් තියෙනවා සත්‍යය ජනතාවට හෙළිදරව් කරන්න. කිසිම ආණ්ඩුවකට දේශපාලනඥයකුට මාධ්‍ය මර්දනය කරන්න කිසිම හැකියාවක් නෑ.
අපට අමතක නෑ එදා සිරස නාලිකාව, සියත නාලිකාව ගිනිබත් කළා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩ අතුරුදන් කළා. පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් හිංසනයට ලක් කළා. මේ යනාදී වශයෙන් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයකට හිංසන සිදුවූ යුගය අපට මතකයි. මං පැහැදිලිව කියනවා සමගි ජන බලවේගය හැටියට අපේ රට තුළ මෙවන් දේවල් සිදුවෙන්න අපි ඉඩතබන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනක් අමතමිනි.