පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව එහි වාර්තාව නිකුත් කොට ඇත. මෙම වාර්තාව කියවීමේදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙවැනි විශාල බරපතල හානියක් සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්වත් බැරුම් විග‍්‍රහයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුව කිසියම් උත්සාහයක්වත් දරා නැති බවය.
අදාළ සිද්ධීන්ට බුද්ධි ප‍්‍රධානියාගේ නොසැලකීම, ආරක්ෂක ප‍්‍රධානියාගේ නොසැලකීම, පොලිස්පතිවරයාගේ නොසැලකීම, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වගකීම් පැහැරහැරීම වගකිව යුතු යැයි කීයන කිසියම් ආකාරයකින් මෙම සිද්ධීන්ට පදනම් වූ වාතාවරණය හා පසුබිම මෙන්ම හේතු ද ගැන කිසිම අලූත් තොරතුරක් නොවේ. මේ සියලූ දෙනාම වගකීමකින් තොරව වැඩකළා පමනක් නොව තවත් බොහෝ දෙනෙක් ද තමන්ගේ වගකීම් පිළිබඳව කිසියම් කැපවීමකින් කටයුතු කර නැති බව රටම දනී. මේ පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවකින් බලාපොරොත්තු විය යුත්තේ එවැනි නොසැලකීමක් සිදු වූයේ කෙසේද යන්න ගැඹුරින් විග‍්‍රහ කොට එය රටේ පාර්ලිමේන්තුව ඉදිරියේත් ජනයා ඉදිරියේත් තැබීමය. මේ සඳහා කිසියම් වූ ප‍්‍රයත්නයක්වත් දරා නැත. සමහර විට පාර්ලිමේන්තු කමිටුවම කොටු වී සිටින සමස්ථ දේශපාලන යන්ත‍්‍රණය එවැනි බුද්ධිමය හැදෑරීමකට ඉඩකඩ සැලසිය හැකි තත්ත්වයක පසු නොවන බව මෙයට හේතුව විය හැකිය. කෙසේ වුවත් මේ වාර්තාවෙන් අදාළ සිද්ධිය පිළිබඳවවත් එවැනි සිද්ධින් අනාගතයේදී වළක්වා ගැනීම පිළිබඳවවත් මගපෙන්වීමක් සඳහා අවශ්‍ය වන අව්‍යාජ හා බුද්ධිමය වශයෙන් පිළිගත හැකි වාර්තාවක් නිකුත් කිරීමට ඔවුන් අසමත්වී ඇත.
උදාහරණයක් වශයෙන් බුද්ධි ප‍්‍රධානීන් හා බුද්ධි අංශයම අවශ්‍ය වැඩකටයුතු කර නැත්නම් එය එසේ වීමට ඉඩ හරින ලද්දේ කවුරුන් හෝ විසින්ද ? එසේ කරන ලද්දේ අගමැති හෝ ජනාධිපති විසින් යැයි කීම හුදෙක් පුද්ගලයන් මත වරද පැටවීමක් පමනි. රටේ ආරක්ෂාව පිළිබඳව ගතයුතු ප‍්‍රධාන පියවර ගැනීමට අපොහොසත් වන රටේ ප‍්‍රධාන පාලකයන් අකර්මන්‍ය කර තිබෙන්නේ කුමන ආකාරයක පාලන යාන්ත‍්‍රණයක් විසින්ද යන්න සොයා බැලූවා නම් ඉන් කිසියම් ප‍්‍රයෝජනයක් ඇති කිරීමට පුළුවන් කමක් තිබුනි.
මෙහිදී ප‍්‍රධාන වශයෙන්ම පැනනගින ප‍්‍රශ්නය නම් රටේ ජනතාව නියෝජනය කිරීමට පත් කර තිබෙන පාර්ලිමේන්තුව රටේ ආරක්ෂක අංශ වල ප‍්‍රධානීන් මෙන්ම ජනාධිපති, අගමැති යන අයගේ වගකීම් ඉටු කිරීම පිළිබඳව අධීක්ෂණය කළ හැකි තත්වයක පසුවන්නේද යන්නය. මෙහිදී පාර්ලිමේන්තුව යන්නෙන් අදහස් කළේ ආණ්ඩු පක්ෂය පමනක් නොව විරුද්ධ පක්ෂයේද සියලූම සාමාජිකයන්ගේ ඇති යුතුකම් පිළිබඳවය.
පාර්ලිමේන්තුවක් පවතින්නේ යම් වරදක් සිදු වූ විට එය අරයාගේ වරදක් මෙයාගේ වරදක් යැයි කීමට නොවේ. පළමුවෙන්ම පාර්ලිමේන්තුව විසින් අසා ගත යුතු වන්නේ තමන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොපමන දුරකට වගකිව යුතුද එවැනි තත්වයක් උදා වීමට තරම් තම පාලන යන්ත‍්‍රයේ තිබෙන අඩුපාඩු මොනවාද යන්න පිළිබඳවය. රටේ බුද්ධි අංශය, ආරක්ෂක අංශය හා ප‍්‍රධාන නායකයන් පිලිබඳව අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ රටේ පාර්ලිමේන්තුවටය. එම අධීක්ෂණය කර ගැනීම සදහා නොයෙක් ආකාරයේ විධික‍්‍රමයන් පාර්ලිමේන්තුව විසින් ගොඩනගා ගනී. යම් සිදුවීමක් සිදුවීමට පෙර පාර්ලිමේන්තුව ඒ පිළිබඳව දැන ගැනීම සඳහා විශාල මාවත් ගණනාවක් ඇත. ඒ මාවත් අතර ඉතාම වැදගත් මාවත වන්නේ ජනතාව තමන්ගේ දුක්ගැනවිලි හා රටට ඇති ආන්තරාව පිළිබඳව සිදු කරනු ලබන පැමිනිලි ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව තුළට ගෙනයාමට තිබිය යුතු විධික‍්‍රමයක් පැවතීමය. රටේ ජනයාට තමන් දැනගන්නා තොරතුරු පාර්ලිමේන්තුව තුළට ගලා ඒමට මාවතක් ඇති වන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන් මගිනි. විවිධ පළාත් හා විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වෙත තමන් දන්නා කරුණු ගලා ඒමේ මාවතක් සාදා තිබුනා නම් ජනතාව තමන් දැන සිටි මෙම කරුණු පාර්ලිමේන්තුවට දැනුම් දෙනවාට කිසිදු සැකයක් නැත. නමුත් පාර්ලිමේන්තුවත් ජනතාවත් අතර පවතින විශාල වෙන්වීම හා පරතරය නිසා එවැනි තොරතුරු ගලා ඒමක් සඳහා මාවතක් නිර්මාණය වී තිබුනේ නැත. එවැනි මාවත් වෙනුවට ඇත්තෙන්ම නිර්මාණය වී තිබුනේ බාධකයන්ය. විශේෂයෙන්ම පුවත්පත් කලාව තුළට මෙම බාධක ගැඹුරින්ම පනවා ඇති හෙයින් මෙවැනි ඉතා වැදගත් කරුණු පිළිබඳව වාර්තා කිරීමට මේ මාධ්‍ය අසමත් විය. මාධ්‍යක් අනිසි ලෙස පාලනය කිරීම නිසා හා එය හුදෙක්ම වල්පල් කියවීමේ තත්ත්වයකට ඇද දැමීම සිදුවූයේ දැඩි මදර්නකාරී තත්ත්වයන් මගිනි. එයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවද වගකිව යුතුය. එවැනි අනිසි මාධ්‍ය පාලනයක් සිදු නොවුනා නම් බොහෝ දෙනා දැන සිටි මෙම ප‍්‍රහාරය පිළිබඳ කරුණු මුලින්ම දැන ගන්නට ඉඩ තිබුනේ එම මාධ්‍ය ජාලයන් තුළිනි.
රටේ ආරක්ෂක අංශයත් වෙනත් අංශ මෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව මනා රාජ්‍ය සම්බන්ධතා තුළින් හෙළි කර සිටි කරුණු දැන නොසිටියේ ඇයි ? එය පුදුම සහගත තත්ත්වයකි. රටේ ප‍්‍රධාන අංශ දැන සිටි කරුණක් තමන් දැන ගෙන සිටියේ නැතැයි කීමට පාර්ලිමේන්තුවට පුළුවන්කමක් නැත. එක් මන්ත‍්‍රීවරයෙක් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තමන් අදාළ දින පල්ලියට නොගොස් සිටියේ මෙවැනි ප‍්‍රහාරයක් ඇති වන බව තමාගේ පියාගෙන් දැන ගත් නිසා බවය. එහෙත් එම මන්ත‍්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සියලූ සාමාජිකයන් දැනුවත් කිරීමට උත්සාහ නොකළේ ඇයි ? අද අන්තර්ජාලයේ ඇති පහසුකම් මගින් හා දුරකතන පහසුකම් මගින් ඉතා සුළු වෙලාවක් තුළ තමන් දැනගත් කරුණු අනෙක් මන්ත‍්‍රීවරුන්ට ද සකල පාර්ලිමේන්තු සාමාජිකයන් වෙත දැනුම් දීමට ගත වන්නේ මොහොතක් පමනි. එහෙත් එවැනි විධික‍්‍රමයක්වත් වුවමනාවක්වත් කිසිවෙකු තුළ පැවතුනේ නැත. මෙයින් අදහස් වන්නේ පාර්ලිමේන්තුවට කරුණු කීමෙන් කිසිවක් සිදු නොවන බව අංශ ප‍්‍රධානීන් මෙන්ම සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙන්ම රටේ ජනතාව දැන ගෙන සිටීම නොවේද ? මෙවැනි තත්වයක් පවතී නම් ඒ රට තුළ කටයුතු කරන විවිධ අංශ ප‍්‍රධානීන් මත පමනක් අදාළ සිදුවීමේ වගකීම පැවරීම කොපමන දුරකට බුද්ධිමත්ද ?
පාර්ලිමේන්තුව විසින් දැන් කළ යුත්තේ තමන් වෙත දෙන ලද මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේම වගකීම් පිළිබඳව කිසියම්ම බැ?රුම් විග‍්‍රහයක් කර නැති හෙයින් එසේ කර එම වාර්තාව නැවත ඉදිරිපත් කරන ලෙසට මෙම කමිටුවට වගකීම පැවරීමය. අංශ ප‍්‍රධානීන්ගේ වගකීමට වඩා කමිටුව විසින් තමන්ගේ වගකීම් පැහැර හැරීම වඩා අන්තරාකාරීය. මන්දයත් ඔවුන් පාර්ලිමේන්තුවේ කමිටුවක් වන නිසාය. අංශ ප‍්‍රධානීන්ට එවැනි තත්ත්වයක් ඇත්තේ නැත.
එසේ ඉල්ලා සිටීමට හැකි නමුත් ඇත්තෙන්ම පාර්ලිමේන්තුවට ආරක්ෂාව පිළිබඳව කළ හැකි දෙයක් නැති බව මහජනතාව දනී. සමස්ථ දේශපාලන යන්ත‍්‍රනයම අකර්මන්‍ය වී අවසානය. 78 ව්‍යවස්ථාවෙන් පටන් ගත් රාජ්‍ය අවතැන් කිරීමේ කටයුත්ත දැන් සියලූම අංශයන් වෙත පැතිරී ගොස් ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා මෙන්ම විවිධ අංශ ප‍්‍රධානීන්ද නාමිකව එම තනතුරු දරති. එහෙත් සැබෑ ලෝකය තුළ එම තනතුරු වලින් බලාපොරොත්තු වන වගකීම් ඉටු කිරීමට තරම් හැකියාවක් ඇති පාලන තන්ත‍්‍රයක් රටේ පවතින්නේ නැත. මේ ප‍්‍රශ්නයට අත නොතබා එකිනෙකාට අත් දිගු කර එම වගකීමෙන් අත්මිදෙන්නට හැකි යැයි එම කමිටුව සිතුවා නම් එය ද අතිශයින් අභාග්‍යවන්ත වූ තත්ත්වයකි. පාර්ලිමේන්තු කමිටු වනාහි ඉතා බැරැරුම් වගකීම් දරන්නට පත්කරන ලද කමිටු වේ. සමහර වෙලාවට කමිටුව මෙසේ කීමට පුළුවන. පාලන තන්ත‍්‍රය හොදින් කටයුතු කළා නම් අපටද එසේ කිරීමට පුළුවන. එහෙත් පාලන තන්ත‍්‍රය තුළ ඇති කඩා වැටීම නිසා අපටද මීට වඩා දෙයක් කිරීමට පුළුවන් කමක් තිබුනේ නැත යන්නය.
මේ නිසා පාස්කු ඉරිදා සිද්ධිය මෙන්ම රටේ ඇති වී තිබෙන කිසිදු බරපතල ප‍්‍රශ්නයක් පිළිබඳව බුද්ධිමත් හා බැරැුරුම්කමකින් යුතු විග‍්‍රහයක් කර ගැනීමට හැකි පාලන තන්ත‍්‍රයක් ගොඩනගා ගැනීමේ කර්තව්‍යයට මුහුණ නොදී කෙරෙන වෙනත් වතාවත් වලින් ඇති ප‍්‍රයෝජනයක් නැත.
බැසිල් ප‍්‍රනාන්දු