මාලදිවයිනේ කොරෝනා රේගය මේ වන විට හිස ඔසවන තත්වයක් නිර්මාණය වීම හේතුවෙන් මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්ත අසරණ තත්වයකට පත් වී ඇති බව වාර්තා වෙයි.

මාලදිවයිනේ මුල්ම වරට කොරෝනා රෝගියා පසුගිය මාර්තු 15 වන දින හමු වූ අතර ඒ විදේශිකයෙක්. එකී විදේශිකයා නවාතැන් ගෙන සිටි දූපතම වසා දමා තත්වය සමනය කල අතර ඉන් පසුව රෝගීන් කිහිප දෙනෙක් හමු වුවත් ඔවුන් සියල්ලම විදේශිකයන් වූ අතර එවුන් හමු වූයේද නිරෝධායන ක්‍රියාවලිය තුලදීය.

මේ නිසා මාලදිවයින කොරෝනා අවදානම බොහෝ සෙයින් පහව ගිය රටක් ලෙස පසුගිය අප්‍රේල් මස 15 වන දින දක්වා පැවතුණත් අප්‍රේල් 15 වන දින එරට කාන්තාවකට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව තත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ඇති බවයි මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අප සමග පැවසුවේ.

මෙම කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේද කොහෙන්ද යන්න මෙතෙක් සොයා ගැනීමට අපොහොසත් වී ඇති අතර ඉන් පසුව තවත් දෙදෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

නමුත් මේ පුද්ගලයන් දෙදෙනා පෙර කී කාන්තාව සමග කිසිදු ලෙසකින් සම්බන්ධ වූවන් නොවන බවයි මාලේ නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අප වෙබ් අඩවිය සමග පැවසුවේ.

එමෙන්ම මාලදිවයිනේ බංග්ලාදේශ වැසියන් අතිවිශාල සංඛ්‍යාවක් වාසය කරන අතර එවුන් එක් කාමරයක විස්සක් පමණ පිරිසක් ලෙස වාසය කරන බවයි පැවසෙන්නේ.

බංග්ලාදේශ වැසියෙක්ටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම තත්වය තවත් දරුණු අතට පත් කිරීමක් බවයි ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් දක්වා සිටියේ පසුගියදා මාලදිවයිනේ ඇති ලංකා බැංකු ශාඛාවේ මාලදිවයින් සේවකයකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. එම බැංකුවට නිරන්තරයෙන් ශ්‍රී ලාංකිකයන් ගනුදෙනු සඳහා ගමන් කරන බැවින් තත්වය බරපතළ ලෙස අවදානම් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මාලදිවයිනේ සෞඛය පහසුකම් අතිශයින් දුර්වල වන අතර එහි බොහෝ පිරිස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට හෝ ලංකාවට යාම සිදු කරයි. නමුත් මේ මොහොතේ ඒ ආකාරයට කිසිදු රටකට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මාලදිවයිනද ලොක් ඩවුන් කර ඇති අතර එය සංචාරක ව්‍යාපාරය මතම පදනම් වන රාජ්‍යයක් බැවින් ආදායම නැත්තටම නැති වී ඇත.

සියලුම හෝටල් වසා දමා ඇති අතර මාස තුනක පමණ සිට සංචාරකයන් නොපැමිණෙන බවයි ඔවුන් පවසන්නේ. මේ හේතුවෙන් බොහෝ දූපත් වසා දමා ඇති අතර ඒවාට වතුර හා ආහාර පමණක් සපයමින් පවතී. ඒවායේ සිටින ශ්‍රී ලාංකිකයන් අන්ත අසරණ තත්වයකට පත් වී ඇත.

මාලදිවයිනට සියලුම ආහාර පාහේ වෙනත් රටවලින් ආනයනය කරන බැවින් මේ වන විට දැඩි ආහාර හිගයක්ද උද්ගත වෙමින් පවතින බවත් ජලය පවා ලබා දෙන්නේ අඩුවෙන් බවයි මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අප සමග ප්‍රකාශ කලේ.

මාලදිවයින් වැසියන් විදේශ ශ්‍රමිකයන්හට සැලකිල්ලක් දක්වන්නේ නැති බැවින් ඇතැම් විට විදේශිකයන් භාණ්ඩ මිලදී ගැනීමට ගියද භාණ්ඩ නොදෙන තත්වයක්ද උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම තත්වය අනුව මාලදිවයිනේ කොරෝනා තත්වය උත්සන්න වුවහොත් නිසි සෞඛය පහසුකම් නොමැති බැවින් බරපතළ ජීවිත අවදානමකට සියලු ශ්‍රී ලාංකිකයන් පත්වන බවත් එපමණක් නොව දැඩි ආහාර හිගයෙන්ද ශ්‍රී ලාංකිකයන් හට පීඩා විඳින්නට සිදු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුව නිසාම මේවන විට ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව හැරුණු කොට අනෙක් සියලුම රටවල් වල ශ්‍රමිකයන් එකී රටවලට කැඳවාගෙන ඇති බවයි පැවසෙන්නේ. ඒ ආකාරයට පිලිපීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල් පසුගිය සතියේදී සිය රටවල ශ්‍රමිකයන් කැඳවා ගන්නට කටයුතු කරන ලද බවයි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අප සමග ප්‍රකාශ කළේ.

මේ වන විට ලිපි දෙකක් මගින් මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් මේ දක්වා නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අවසන් ලිපිය ජනාධිපතිවරයාට අප්‍රේල් මස 18 වන දින යොමු කරන ලද බවත් ඔවුන් කියා සිටී. ස්ථිර තානාපතිවරයකුද නොමැතිව තානාපාති කාර්යාලය යම් සාධනීය කාර්යභාරයක් සිදු කරන බවත් මේ වන විට සියලු ශ්‍රමිකයන් ලියාපදිංචි කර ගැනීම සම්බන්ධ කටයුතුද අවසන් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට ඇත්තේ විනාඩි 45 ක පමණ ගුවන් ගමනක් බවත් ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන්ව ගෙන්වා ගන්නා ලෙස ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.

Similar Posts