ශ්‍රී ලංකාවේ ජනතාව ලබන නොවැම්බර් 16 වන දින තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දෙයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද තරග වදියි. මෙවර ජාතික ජන බලවේගය ව්‍යාපාරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ද තරග වදිනු ඇත.

මුලින් මෙම ජනාධිපතිවරණ සටනේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියද, දැන් මෙය කරට කර සටනක් බවට පත්ව තිබේ. විකල්ප බලවේගයක් ලෙස අනුර කුමාර දිසානායක මහතාද ඉදිරියට පැමිණ ඇත.

1988 ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් විකල්ප බලවේගයක් ලෙස විජය කුමාරතුංග මහතාගේ නායකත්වයෙන් වාමාංශික එක්සත් පෙරමුණක් බිහි කර ගෙන ඉදිරියට පැමිණ තිබුණි. ඒ මොහොත වන විට රටේ පැවැති තත්වය අනුව එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට දැඩි විරෝධයක්ද එල්ල වී තිබුණි. ජාතික මැතිවරණය නොපවත්වා, තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කරමින් තිබුණි. එම ඒකාධිපතිත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තරගයට ඉදිරිපත් වී තිබුණි. අද මෙන්ම ඒකාධිපතිත්වයද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයද යනුවෙන් ජනයා හමුවේ තිබුණේ තෝරා ගැනීම් දෙකකි.

එනමුත් ඉහත කී විකල්ප බලවේගයද ඒකාධිපතිත්වයට විරුද්ධ ඡන්ද වලට ආමන්ත්‍රණය කරමින් තිබුණී. විකල්ප බලවේගයට නායකත්වය දුන් විජය කුමාරතුංග ඝාතනය කිරීමත් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔසී අබේගුණසේකරයි. යම් යම් මතවාදී ප්‍රශ්න මත ඔවුන් සිරිමාවෝ බණ්ඩාරනායකට සහය දීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කල කඳවුරේ ඡන්ද ප්‍රමාණය බෙදෙමින් තිබුණි. අද මෙන්ම දෙවන මනාපය පිළිබඳ සාකච්ඡාවක්ද එදා තිබුණි.

කෙසේ වෙතත් අවසානයේ ඡන්ද ප්‍රථිපලය සැකසුනේ මේ අයුරිනි…

රණසිංහ ප්‍රේමදාස – 2,569,199

සිරිමාවෝ බණ්ඩාරනායක – 2,289,960

ඔසී අබේගුණසේකර – 235,719

සිරිමාවෝ බණ්ඩාරනායකගේ හා ඔසී අබේගුණසේකරගේ ඒකාධිපතිත්වයට එරෙහි ඡන්ද වල එකතුව ගත් කල ප්‍රේමදාස ජය ගන්නේ ඡන්ද 40,000 ක පමණ ප්‍රමාණයකිනි. මෙම බලවේග දෙකම එකතු වූවානම් කවර තත්වයක් යටතේ වුවත් සිරිමාවෝගේ ජයග්‍රහණය ස්ථිර වී තිබුණි.

ප්‍රේමදාස අසීරුවෙන් 50% සීමාව යාම්තමින් පන්නා ගෙන ජය ගත්තේය. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් හැකිලී ගියේය. ඔසීට ලැබුනු ඡන්ද සියල්ලම අපතේ ගියේය. අවසානයේ ගොඩ නැගුනු විකල්පයක්ද නැත. විකල්පයටත් එ.ජා.ප ඒකාධිපති පාලනය පහර දුන්නේය. විකල්පය සුනු විසුනු වී ගියහ. අවසානයේ ඉතිරි වී සිටි විකල්ප කණ්ඩායම්වලට එ.ජා.ප ආණ්ඩුව පෙරළා දැමීමට චන්ද්‍රිකා සමග 1994දී එකතු වීමට සිදු විය.

මෙවර ජනාධිපතිවරණයේදීත් ආඥාදායකයා සිටින්නේ දොර ළඟය. ගෝටාභය රාජපක්ෂ කවුදැයි ඔහු ආරක්ෂක ලේකම් සමයේ කටයුතු කල ආකාරයෙන් කවුරුත් දනී. අප සියලු දෙනාටම වඩා ජාතික ජනබලවේගයේ නායකයන් දනියි. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂටත් වඩා දරුණු පුද්ගලයෙකි ඔහු.

මෙම ජනාධීපතිවරණයේදීත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවත්වා ගෙන යාම සඳහා සියලු බලවේග එක් වීමට නොහැකි වීම කණගාටුවකි. ප්‍රජාතන්ත්‍රවාදය හැකිලුනු තැනකදී කිසිදු විකල්පයක් ඉතිරි නොවනු ඇත. 1988න් පසු සිදු වූයේ එයයි. එම නිසා මේ අවස්ථාවේ ජනතාව බුද්ධිමත් වෙමින් ආඥාදායකත්වය පැරදවීමට හැකි හොඳම විකල්පය තෝරා ගත යුතුය. පළමු මනාපය දෙවන මනාපය යනුවන් සෙල්ලම් දැමීමට නොහැක. මෙහි ඇත්තේ එක සෙල්ලමකි. ඒ ආඥාදායකත්වය තෝරා ගන්නවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගන්නවාද යන්නයි. ජාතික ජන බලවේගය බිහි වූයේත් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලුනු රාජපක්ෂ සමයේ නොව ප්‍රජාතන්ත්‍රවාදය විහිදුනු යහපාලන රජය සමයේය. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සුරැකුනොත් ප්‍රබල විකල්පයක් ගොඩ නගා ගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ජාතිවාදය කරපින්නාගත් ඒකාධිපති ආඥාදායකත්වයක් තිස් අවුරුදු යුද්ධයකින්ද සිවිල් තරුණ අරගල දෙකකින්ද හෙම්බත් වී සිටින ශ්‍රී ලංකා ජනයාට තවදුරටත් ඔරොත්තු නොදෙනු ඇත.

නීතිඥ දුලාන් දසනායක

Similar Posts