පළමු වාර්තාව – “විනය විරෝධී භික්ෂූන් නිකායෙන් නෙරපනවා”
– රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරීහු පවසති.
භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන භික්ෂූන් පිළිබදව සොයා බලා එම භික්ෂූන් රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන හිමියෝ ‘අද’ පුවත්පත ට පැවසූහ යි, එම පුවත්පත ඊයේ (මැයි 22) වාර්තා කළේ ය.
එසේ භික්ෂූන් ලෙස පෙනී සිටින පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා තුළ සහ විද්‍යුත් හා මුද්‍රිත ආදී විවිධ මාධ්‍ය මගින් දැකගැනීම සුලබ වෙමින් පවතින බවත්, ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වාභාවයක් නිසා එම පුද්ගලයන් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද, භික්ෂු ගෞරවයට ද සිදුකරන හානිය සුළුපටු නොවන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් සාසන රතන හිමියෝ ප්‍රකාශ කළ බවද එහි සදහන් ය.
ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාවය පැන නැගී ඇති මේ මොහොතෙහි……… එබදු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය නමින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපීමේ දී කතිකානුකූල පියවර ගැනීමට නිකාය මගින් කටයුතු යොදන බවත්…..එහිමියෝ අවධාරණය කර තිබුණි.
මධ්‍යකාලීන වාර්තාව – ප්‍රශ්නෝත්තර
දැන් මේ පෙර දැක්වූ ‘අද’ පුවත්පතේ වාර්තාව, හිටපු මුදල් ඇමති මංගල සමරවීර විසින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, පසුගිය දා කර තිබූ ‘ආන්දෝලනාත්මක’ ප්‍රකාශ අපගේ සිහියට නංවයි. ජනාධිපතිවරණයේ දී අනාථ කදවුරු වල වසර 30 ක් තිස්සේ ජීවත් වන පිරිසකට ඡන්ද පොලට යෑමට අනුග්‍රහය සැපයීය යි මංගල සමරවීරට එරෙහිව අක්මීමන දයාරත්න හිමියන් විසින් පොලීසියට කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැදවනු ලැබ (මැයි 14 වැනිදා) අපරාධ විමර්ශන දේපාර්තමේන්තුවෙන් එලියට පැමිණි කල්හි ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔබට හාමුදුරුවරුන්ගෙන් තාමත් ප්‍රශ්න තිබෙනවා නේද කියායි.
එයට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ “හැබැයි මට මේ සංඝයාවහන්සේලාගෙන් තියෙන ප්‍රශ්න තියෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් විතරයි” යනුවෙනි. “මම අදහන මම හදවතින්ම ගරුකරන බෞද්ධ දර්ශනය නැතිකරන, ඇත්ත වශයෙන්ම කුඩු සල්ලි වලින් ජීවත්වෙන, කුඩු මුදලාලිලාගෙන් පෝෂණය වන එක්තරා පිරිසක් තමයි මට විරුද්ධව කටයුතු කරන්නේ”
පසුව මැයි 18 වැනිදා Voicetube චැනලයේ පළ වූ ඔහුගේ අදහස් දැක්වීමක දී, මේ ප්රශ්නය යලිත් මතු කෙරී තිබුනේ ‘සංඝ කල්ලිය’ යන වචනය පිලිබදව ය. එහි දී හෙතෙම ප්‍රකාශ කර තිබුනේ ඇත්ත වශයෙන් ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කළ සංඝ කල්ලි බිහි වූ බවය. එදා බුදුන් ජීවත්ව සිටි කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂූන් වහන්සේලා 1250 න් 750 ක්ම මේ කල්ලියට එකතු කරගෙන එවකට හිටපු අජාසත්තගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට බුදු හාමුදුරුවන්ට එරෙහිව කුවන්ත්රණය කළ අයුරුත්, පරාක්‍රමබාහු රජ්ජුරුවෝ බෞද්ධ දර්ශනයට අභියෝගයක් ඇති කළ 60,000 ක් භික්ෂූණ්ව හන ගහලා ශාසනයෙන් නෙරපූ බව පොලොන්නරුවේ ගල් පොතේ සදහන් වන බවත් ඔහු පෙන්වා දී තිබුනේ ය.
ඔහු තවදුරටත් මෙසේ ද පවසා සිටියේ, “බෞද්ධ දර්ශනය, විද්‍යාවත් සමග 21 වන සියවසට ගැලපෙන එකම දර්ශනය හැටියට මම දකින මේ බෞද්ධ දර්ශනය, අද මිත්‍යා දෘෂ්ඨීකයන්ගේ අතට පත් වෙලා තියෙනව. අද ඒක ජනතාව රවට්ටන්නට, දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත් කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සදහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නොවේ බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සෑබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක් හැටියටයි මම දකින්නේ….” කියාය.
ප්‍රශ්න වල ඇති සමාජ නියෝජනය
මේ අතර යලිත් පෙර දැක්වූ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙවන වාරයට පැමිණි මංගල සමරවීරගෙන් මාධ්‍යවේදීන් යලි මේ ගැන ම ප්‍රශ්න මතු කර තිබුණි. ඒ මැයි 19 වැනිදා ය. එහි දී පරණ කථා වලට අමතරව අලුත් විධියේ ප්‍රශ්න දෙකක් එතැනට පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් මතු කර තිබුනි. ඉන් පලමුවැන්න වූයේ සංඝයාවහන්සේ විවේචනයට ලක් කිරීමට අයිතියක් තිබේද යන්නයි, දෙවැන්න නම් මේ ආකාරයෙන් මැදහත් වීම මහ නායක හිමිවරුන්ට අයිති කාරියක් නොවේ ද යන්න යි. මේ ප්‍රශ්න දෙකින්ම මතු කෙරුනේ සංඝ සමාජයේ පවතින සාරධර්ම පිළිබද ප්‍රශ්න කිරීම ගිහියන්ට අයිති නැති දෙයක් බවයි. බන දන්නා සංඝ සමාජයේ පවතින ධූරාවලිය ඒ ගැන වග බලාගන්නට හැර ගිහියෝ තමන්ගේ වැඩක් බලා ගත යුතු බවය.
උත්තර පමණක් නොවේ. ප්‍රශ්නද සැම විටම සමාජ-දේශපාලන නියෝජනයක් සහිත දෑ ය. මේ අයුරින් බුදුන් වදාල දහම, සමාජයේ කිසියම් අංශ ගත බල තන්ත්රයක උරුමයක් ලෙස මේ මාධ්‍යකරුවන් සලකන බව පෙනී යයි. මෙය සිහිපත් කරන්නේ මධ්‍යකාලීන යුරෝපයේ කෘෘර රාජාණ්ඩු හා බැදුනු කතෝලික පල්ලියත් එ්වා මෙහෙය වූ කාඩිනල්වරුත් එදා තමුන්ව දෙවියන් වහන්සේගේ කැමැත්ත බවට පත් කර ගනිමින් මහජනයා පෙලුවා වූ අත්නනෝමතික කතිප්යාධිපත්ය මර්ධන තන්ත්රයක් පවත්වාගෙන ගිය අයුරු ය. ගිහියන්ට තමන්ගේ වැඩක් බලා ගන්න යයි මොවුන් කියන්නේ එවන් වූ තන්ත්රයක් වෙනුවෙන් දෝ යි විමතියකි.
පෙර කී මාධ්‍යකරුවන් කුමක් සිත්හි තබාගෙන ප්‍රශ්න කළත්, මෙහි ආරම්භයේ සටහන් කළ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන හිමියන් ද ඉදිරිපත් කර ඇත්තේ මංගල සමරවීර ගේ විවේචනයට කිට්ටුවෙන් යන අදහසක් බව පෙනේ. එනම්; “භික්ෂූන් ලෙස පෙනී සිටින පුද්ගලයන් හා කණ්ඩායම්……විවිධ මාධ්‍ය මගින් දැක ගැනීම සුලබ වෙමින් පවතින බවත්, ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වාභාවයක් නිසා එම පුද්ගලයන් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද, භික්ෂු ගෞරවයට ද සිදුකරන හානිය සුළුපටු නොවන….” බවයි.
කෙසේ වෙතත් මේ එළඹ ඇත්තේ, ‘සංඝ සමාජය’ හා ‘සංඝයාවහන්සේ’ පිළිබදව බුදුන්ගේ අර්ථකතනය දෙසට යොමුවීමට කාලයයි. බුදුන්, සංඝයා වහන්සේ හදුන්වා ඇත්තේ ගිහියන්ට සරණ වන ‘ප්‍රණීත වූ රත්නයක්’ ලෙසිනි. නමුත් ඒ යමෙකුගේ උප්පත්තියේ දී මෙන් කිසියම් සඥා නායමක් දීමේ අවශයතාවය සලකා නොවේ. උතුම් වූ ප්‍රඥා ගුණයට හිමි වන ගෞරවනීය පදවියක් ලෙසය. ඒ උතුම් වූ ප්‍රඥා ගුණාංග කවරේ ද යන්න හෙතෙමේ රතන සූත්‍රයේ දී හෙලි පෙහෙලි කර දී ඇත්තේ ය. ඒ සංඝ සමාජයේ අභ්‍යන්තර සාකච්ඡාවක දී නොවේ. පෘථග්ජන ජන සමූහයා ඉදිරියේ උතුම් සංඝයාවහන්සේ පිරිවරාගෙන ප්‍රසිද්ධියේ ය. ඒ අනුව පන්සලක වාසය කරන නිසා හෝ කහ සිවුරු පොරවා ගත් නිසා හෝ කට පාඩමින් පාලි ගාථා කිසියම් විරිතකට ගයන්නට හැකි නිසා හෝ යමෙකු සංඝයා කොට සැලකීමට බුදුන් වදාලේ නැත. එවැනි හේතු නිසා කිසිවකු ‘සංග රත්නයක්’ වන්නේ යැයි හෝ ඔහු සරණ යා හැකියයි හෝ කිසිවකු කල්පනා නොකළ යුතු ය යන්නයි රතන සූත්‍රයෙන් අප වෙත ගෙන එන පණිවිඩය වන්නේ.
අතීත වාර්තාව – සම්මාන ආපසු කැදවීම
සංඝ සමාජය පිළිබද ප්රශ්නය මේ අයුරින් මෑතකාලීනව මතු වූයේ වඩාත්ම, පසුගිය වසරේ නොවැම්බරයේ ජනාධිපතිවරණයේ නිමාවත් සමග මුදල් ඇමති පදවියෙන් ඉවත් වූ මංගල සමරවීර විසින් කර තිබූ ප්‍රකාශයක් සමග ය. එහි දී ඔහු රටටත්, ජනතාවටත් සරණ පැතුවේ බුදුන් හා දහම් රත්නයන් ගෙන් පමණි. එවිට මංගල සමරවීර තුන් සරණෙන් සංඝයා ඉවත් කළේ යැයි ද, ඒ මගින් සංඝ සමාජයට මහත් අවමානයක්, හානියක් කළේ යයි ද මහා කෝලාහල තත්වයක් රටෙහි ජනිත විය. අන් සියල්ල මෙන් ඒ සාකච්ඡාව ද අනිත්‍යයට යටත් නිසා නිශේධ වී ගොස් වත්මනේ අලුත් තලයක යලි මතුවී තිබේ. ඒ නිසා අපිට සරණ ලද හැකි ‘සංඝ රත්නය’ පිළිබද බුදුන් වදාල දහම විමසා බලමු. එවිට පෑනක්, නෝට් පොතක්, නැතිනම් කැමරාවක් අතට ගත් කල හතරවන පුරවැසියා බවට පත්වන්නවුන් ඇතුලු පවති ධූරාවලියේ ස්ථාන සොයා යන කාට කාටත් වෙලාවක් වෙන්කර ගැනීමෙන් තොරව (උවමනා නම් පමණක්) සත්‍යය මුන ගැසීමට හැකි ය.
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් ටිවිටර් තැපෑලෙන් පළ කර තිබූ ඉහත කී පණිවිඩයට එරෙහිව පොලිස් මූලස්ථානයේ පැමිනිල්ලක් ගොනු කර තිබුනේ පසුගිය නොවැම්බර් විසි ගණන් වල ය. බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී ජිනරතන ස්ථවීරයන් ට හැගී ගොස් තිබුනේ උක්ත ට්විටර් තැපෑල්පත මගින් මංගල සමරවීර සංඝ පරපුරට නිග්‍රහයක් කර ඇති ලෙසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර ඉන් කියන්නේ “මම මගේ සදාදරණීය රට පෙනුවෙන් කදුලු සලනවා. බුද්ධ හා ධම්ම යුග්ම රත්නයේ, ආශිංසනය ඔබ සමග පවතිනු ඇත්තේ ය” යනුවෙනි. බෞද්ධයන් සරණ යන්නේ ත්‍රිවිධ රත්නයේ ය. මේ ත්‍රිවිධ රත්නය බුද්ධ ධම්ම හා සංඝ වන්නේ ය. නමුත් මංගල සමරවීර බෟද්ධයන්ගේ ආශීර්වාදය යදිමින් සදහන් කර ඇත්තේ බුද්ධ හා ධම්ම යන ද්විත්වය පමණි. ඔහු මෙතැනදී ‘සංඝ’ පසෙකට කර තැබුවේ මොන ඇන්නෑවකට ද? යි එදා ප්‍රශ්න කෙරිනි.
බොහෝ බෞද්ධයන්ට පැවිද්ද ලත් භික්ෂූන් මුන ගැසෙන්නේ බෞද්ධ පන්සල් වලදී ය. ඒ සැම බුද්ධ සාසනයට අඩංගු වෙයි. තත්කාලීන බෞද්ධ ආඥාව අනුව ඒ සැම බෞද්ධයන්ගේ තුන්වන රත්නය ට අඩංගු වන්නේ ය. මේ මතුපිට පවතින පෙනුම පමණි.
නමුත් එපමණක් නොවේ. භික්ෂුව යනු සත්‍ය සොයා යන්නෙකි. අනිත්‍යතාව එනම් වෙනස් වීම ලෝක විශයයෙහිත්, සත්ත්වයන් විශයයෙහි පැවැත්මේ මූල ස්වභාවය ලෙස ගත් කල්හි දෙන ලද නිමේශයකදී හෝ ඇලී ගැන්මට යමක් ඇත්තේ ද? නියතතාවයක් පවතින දැයක් වේ ද? යන ප්‍රශ්න එවිට ඔහු ඉදිරයේ මතුවෙයි. එවැන්නක් නැති බවත්, එසේ ඇලීගැන්මට හැකි ස්ථාවර යමක් පවතීය යන ලෙසින් නොමේරූ මනස විසින් සාදා ගන්නා මම හා මගේ දේවල් නිසා නිරන්තරව කම්පාව ඇති කරවන තන්හාව ජනිත වෙන බවත්. ඒ නිසා නියතතාවයේ ගැලෙන නොමේරූ මනසින් මිදී අනිත්‍යතාවය වටහා ගත යුතු බවත් යන පිලිතුරු කරා සේන්දු වූ කල්හි; අල්ලා ගන්නට, ඇලී ගැන්මට යමක් නැති බවත්, ඇත්තේ වෙනස් වෙමින් ගමන් කරන ද්‍රව්‍ය පමණක් බවත් අවබෝධ කරගැනීම යන සත්‍ය ඝවේෂණය භික්ෂුභාවයේ පදනම වෙයි. එය එතුමන්ගේ පරම අභිමතාර්ථය යි. එසේ භික්ෂුවගේ ගමනේ කෙලවර වන්නේ සත්‍යාවබෝධයෙන්. බුද්ධත්වයෙන්, රහත් ඵල ලැබීමෙන් රත්නයක් බවට පත් වීමෙනි. ඒ ගමනේ ගුරුවරයා මාර්ගෝපදේකයා ගැලවුම්කරුවා ධර්මයයි. එබැවින් ධර්මය ශ්‍රේෂ්ඨ වූ රත්නයක් වන්නේ ය. මේ නිර්වාන ධර්මය නැමැති ධර්මය නුවනින් අවබෝධ කර පහදා දුන්නේ කවරේක් ද හෙතෙමේ අසම සම වූ ශ්‍රේෂ්ඨ රත්න ය යි. රාගාධී කෙලෙසුන් හි ගැලී දුකට පත් ජනතාව ඉන් මුදවා සැනසුම ලබා දෙන්නේ මේ රත්නයන් ත්‍රිත්වය වෙතිනි. ගැලවුම සොයන්නා වෙත මේ ත්‍රිත්වයේ සරණ ලගාවන්නේ ය.
සත්‍ය දැකීම – රතන සූත්‍රය
දරුණු වසංගතයකින් හා ඉන් ඇති වූ දුර්භීක්ෂයකින් පහර කා සිටි විශාලා නගරයෙහි දී බුදුන් විසින් ත්‍රිවිධ රත්නය විස්තර විභාග කර දැක් වූයේය. විශාලාවට වැඩම කර එහි වැසි දුකට පත් ජනයාට සැනසිල්ල ලගාකර දෙන්නැයි බුදුහු තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් ඇරයුම් ලද්දේය. දුර්භික්ෂ බියෙන්, විපත්තිකාරී අමනුෂ්‍ය බියෙන් හා මාරක වසංගත රෝග බියෙන් ඇළලුනු, දසත මරණය පැතිරීගිය රාත්‍රියේ බුදුහු මේ නගරයට පා තැබුවේ ය.
ආනන්ද ස්ථවීරයන් ඇතුලු භික්ෂූණ් පිරිවරාගත් බුදුහු එහි සැපැත් වූ වහා ම ධාරානිපාත වැසි වැස්සේ ය. නගරය සිසාරා වේගවත් ජල ධාරාවන් ගලා යමින් කුණු වී දුගද හමන මල මිනී ගසාගෙන ගියේ ය. වායුගෝලය පවිත්‍රව නගරය සුපිරිසිදු විය. විශාල ජන කණ්ඩායමක් බුදුන්ගේ දේශනාවට අහුන්කන්දීමට එක්රොක් විය.
උන්වහන්සේ තම දේශනාවට බුදු දහමේ ත්‍රිවිධ රත්නයන්, තුන් සරණ විශය කරගත්තේ ය.
බුදුන් රතන සූත්‍රයෙන් මෙසේ විස්තර කර ඇති ත්‍රිවිධ රත්නය ගැන කෙටියෙන් මෙසේ විභාග කළ හැකිවේ.
– බුදුන් ලෝක සත්‍යය වටහා ගත් අසමසම පෞරුෂයයි.
– එතුමන්ගේ උගැන්වීම් නැතිනම් ධර්මය නිර්වානයයි. නිර්වානය වෙත යොමු වූ ශ්‍රේෂ්ඨ මාර්ගයයි.
– සංඝ යනු උදාර භික්ෂු සමාජය වෙයි. භික්ෂුත්වයේ මූලික පරමාර්ථය වන ආර්ය සත්‍ය හතර අවභෝධ කරගන්නා වූ ද, එමගට හරස් වන ආත්ම වංචාව, සැකය හා ආශාවන් පිනවීම යනාදී වූ බාධකයන්ගෙන් මිදී අර්ථ විරහිත මිත්‍යාදෘෂ්ඨික පිලිවෙත් හා පුදපූජා පසක ලන්නා වූ ද බුද්ධ ශ්‍රාවකයන් වන්නේ ය. එසේ බුදුන් වදාල දහම් මග ඔස්සේ යමින් රහත් පදවිය සදහා සුදුසු ප්‍රඥාව වඩවන්නෝ ය.
එය රතන සූත්‍රයේ සවිස්තරව ප්‍රකාශ වන්නේ පහත පරිදි ය. පලමුව උන්වහන්සේ පළමු රත්නය – සරණ එනම් බුදුන්; මෙලෙස විස්තර කළෝය.
“මේ මනුෂ්‍ය ලෝකයෙහි හෝ වෙනත් අවශේෂ ලෝකයක හෝ යම් ධනයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්තේ ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ශ්‍රේෂඨ වූ රත්නයකි. ඒ සත්‍ය බලයෙන් සත්ත්වයනට සෙත් වේවා!”(3 ගාථාව)
“උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජානන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයිනට සෙත් වේවා!(13 ගාථාව)
අනතුරුව උන්වහන්සේ විස්තර කරන්නේ ධර්මය, එනම් දෙවන රත්නය – සරණය පිළිබදවයි.
“ආර්යමාර්ග සමාධියෙහි සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උවන් මුනි තෙමේ රාගාදීන් ක්ෂය වන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත වූ යම් නිවනක් නුවණින් අවබෝධ කෙළේ ද ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයක් නැත මෙය ද ධර්මයෙහි පවත්නා ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. ඒ සත්‍ය බලයෙන් සත්ත්වයනට සෙත් වේවා” (04 ගාථාව)
“බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට දේශනා කළ සේක් ද? එය ආනන්තරික සමාධියයි. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයේ ශ්‍රෙෂ්ඨ භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!”(05 ගාථාව)
අනතුරූව උන්වහන්සේ සංඝයා එනම් තුන්වන රත්නය – සරණය විස්තර කළේ මෙසේ ය.
“බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ඨාර්ය පුද්ගල කෙනෙක් වෙත් ද? නොයෙක් ලෙසින් පසස්නා ලද එක සිය අටක් වූ ආර්ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරකි. බුද්ධ ශ්‍රාවක වූ ඒ ආර්ය පුද්ගලයෝ දක්ෂිනාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත් ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රණීත රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!”(06 ගාථාව)
“යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනාකොට යෙදුනාහු ස්ථීර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද? ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු මෙය ද සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රණීත රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා” (07 ගාථාව)
“ඉන්ද්‍රඛීලය නම් වූ කණුව යම් සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දෙසින් හමන සුළගින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආර්ය සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබදු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය ද සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රණීත රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයින්ට සෙත් වේවා!”(08 ගාථාව)
“යමෙක් ගැඹුරු නුවණැති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද ආර්ය සත්‍ය ධර්මයන් තමන් කෙරෙහි ප්‍රකට කෙරෙත් ද, ඔවුහු අටවන භවයක් නම් නොගනිති. මෙය ද සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා!”(09 පිටුව)
“දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාව ද, සීලබ්බත පරාමාසය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරණ ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ වෙයි. පඤ්චානන්තර්ය කර්ම කිරීමට හා අන්‍ය ශාස්තෘවරයකු ද ඇදහීමට සුදුසු නො වේ. මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයින්ට සෙත් වේවා!” (10 ගාථාව)
“ ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේ ද? හෙතෙම එය සගවාලීමට නොහැක්කේ වෙයි. නිවන් දුටුවහු ගේ නිවන පවු සැගවීමෙහි නොහැකි බව බුදුන් වහන්සේ විසින් දෙසන ලදී. මෙය ද සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයින්ට සෙත් වේවා!”(11 ගාථාව)
“ග්‍රීෂ්ම ඍතුවේ පළමුවන බක්මසෙහි රුක් ලැහැබ යම් සේ පිපුණ අග ඇත්තේ වේ ද, බුදුරජ තෙමේ එබදු උපමා ඇති නිවනට පමුණුවන උත්තම ධර්මයක් සත්හට සෙත් පිනිස දෙසී ය. මෙය ද සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයින්ට සෙත් වේවා!”(12 ගාථාව)
“යම් කෙනෙකුන් ගේ පුරාණකර්ම ගෙවී ගියේ ද අලුතින් ඇතිවන කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇළුණු සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධි විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි වූ උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සත්ත්වයිනට සෙත් වේවා!”(14 ගාථාව)
මේ හැටියට බුදුන් තුන්වන අනර්ඝ රත්නය, සංඝයා වහන්සේ කවරෙක්ද යන්න ගැන විස්තර කර තිබේ.
දැන් ඔබට කාලය යි දුකටපත් මිනිසාට සරණ වියහැකි ශක්තිය ලත්, බුදුන් වදාල සාරධර්මයන් අනුව දිවි ගෙවන සංඝ රත්නයන් හදුනා ගැනීම වෙනුවෙන් බුදුන් – දහම් සරණ යෑමට.
(මෙහි එන සිංහල බසින් යුත් රතන සූත්‍රයේ ගාථා ත්‍රිපිටකවේදී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපානන් විසින් සකසන ලදුව, බණ්ඩාරගම ශ්‍රී ලංකා ධර්මචක්ර ළමා පදනම මගින් ප්‍රකාශයට පත්ත කරන ලද “පිරිත් සෙත් ශාන්තිය” පොත අනුව ය.)
රණත් කුමාරසිංහ
උපුටා ගැනීම – හරය