SSP Imesha Muthumala

ශ්‍රී ලංකා පොලිස් සේවය කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වූ එකකි. පොලිස් සේවයේ ශ්‍රේණි තනතුරු සංඛ්‍යාවන් පවා කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතින් උසස්වීම් ලැබූ බිම්ශානි ජයසිංහගේ තනතුර අභියෝගයට ලක් කරමින් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නඩුවක් පවා ගොනු කරන ලදි. ඔවුන්ගේ තර්කය වූයේ කාන්තා පොලිස් නිලධාරීන් වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති ශ්‍රේණියක් නොමැති තත්වයක් තුළ ඇගේ පත්වීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් වූ බවයි.

මේ වන විට කාන්තා හා පිරිමි පොලිස් අංශ ඒකාබද්ධ කිරීමට යෝජනා කර තිබේ. එහෙත්, එමගින් කාන්තාවන්ට දැනට තිබෙන අවස්ථාව පවා අහිමි වී යා හැකි දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වනු ඇතැයි ද පොලිස් කාන්තාවෝ පවා තර්ක කරති.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ වර්තමාන කාන්තා කේඩරය 10,000ක් පමණ වේ. ශ්‍රී ලංකා පොලිස් සේවයේ සියලු ශ්‍රේණි වෙනුවෙන් කාන්තා පොලිස් කාඩරය 15%ක් විය යුතු බවට කැබිනට් තීරණයක් 2006දී ගෙන තිබේ. එහෙත්, එම අනුපාතය තවමත් ක්‍රියාත්මක වන්නේ නැත. එසේ වන්නේ නම්, කාන්තා ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති තනතුරු සංඛ්‍යාව වර්තමානයේ තිබෙන එකේ සිට දෙක දක්වා ද, නියෝජ්‍ය පොලිස්පති තනතුරු සංඛ්‍යාව හතරේ සිට හත දක්වා ඉහළ යා යුතුය. සෙසු සියලු ශ්‍රේණි තනතුරු සංඛ්‍යාව ද ඒ අනුව ඉහළ යා යුතුය.

පොලිස් කාන්තාවන්ට තවමත් වැඩිපුර පැවරෙන්නේ උත්සව, ප්‍රභූ ආරක්ෂක හා කාර්යාල කටයුතු වන අතර පොලිස් කාන්තාවන් අතර ද මෙම සීමාවන් බිඳගෙන ඉදිරියට යන පිරිස අඩුය. එහෙත්, එවැනි පිරිස් විසින් පසුගිය කාලයේ කරන ලද උද්දේශනයන්ගේ ප්‍රතිඵල දැන් දක්නට ලැබේ.

SSP Imesha Muthumalaජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගියදා සිදු කරන ලද ස්ථාන මාරු කිරීම් අතරතුර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක පත් කරන ලදි. ඇය ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාලයි.

2007 වසරේදී ඍජුව සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් සේවයට එක් වූ ඉමේෂා රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී සහ විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක් ද මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් ද වේ. 2041 වසරේදී විශ්‍රාම යාමට නියමිත ඇයට පොලිස්පති තනතුර දක්වා උසස් වීමේ අවස්ථාව තිබේ.

තවද, ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් පුහුණු ආයතනයේ ගැටුම් කළමනාකරණය පිළිබඳ පාඨමාලාව, එෆ්බීඅයි විසින් බැංකොක්හි පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාව, මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව සහ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ සයිබර් පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇත.

එස්එස්පී මුතුමාල නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාශන ඒකකයේ ද සේවය කර ඇත.

ඇය ඍජුව සහකාර පොලිස් අධිකාරි තනතුරට බැඳුණු අයෙකු වුව ද, මේ වන විට එම තනතුර සඳහා කරන ඍජු බඳවා ගැනීම්වලදී කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳ ගැටලුවක් කාන්තා පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරට ද මෑතදී පත් කරනු ලැබුවේ කාන්තාවකි. ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ.එම්. ආරියසේනයි.

 

More Stories